Monday 30 September 2013

ගල් වලේ කටු කෑම, බස් ගමන්, සහ අතුරු කතාවක් . . .

මේකත් පරණ කතාවක්.අර ගලක් ගහල බොසාගේ ඔලුව පැලුවට පස්සේ එයිටත් ටිකක් එහා තියන ගමක වැඩ සෙට් උනා,ඉතින් ඔය ආයතනයේ වැඩ පටන් ගන්නේ උදේ හයට.ඉවර වෙන වෙලාවක් නැහැ හැබැයි රෑ අටනම් පහු වෙනවා ෂුවර්. ඔහොම සතියට වැඩ කරන්න ඕන දවස් හයක්.ඉරිදා විතරයි නිවාඩු.

පින්තුරේ ගත්තේ : www.crushersolution.net

ඔන්න ඔය ඉරිදා එනකල් තමා මම දවස් හයක් කුණ කෑවේ.

ඉතින් මම ඔය එක සෙනසුරාදා දවසක වැඩ ඉවර වෙලා ලියන්න ඕන කොළ ටික ලියල , පහුවදා වැඩ කරන උන්ටත් එක්කම ලොක්කගේ මෙසේ උඩින් තියල වෙලාව බලනකොට අට හමාරයි.එහෙම්ම ටයිම් කාර්ඩ් එක මාක් කරන මැසිමට ඔබල එකත් ට්‍රේ  එකට දාගෙන ඉක්මනට ගිහින් වාහනේට නැග්ග බස් එකට වෙලාව පහුවෙයි කියල බයට.

සයිට් ඔෆිස් එකෙන් එලියට දානකොටම වගේ තියන වංගුව අයිනේ තියනව පොඩි තේ කඩයක්, කොච්චර හදිසි උනත් හැමදාම කරන පුරුද්ද නවත්තන්න බැරි නිසා, ඔතන නවත්තල විස කුරු දෙකක් අරගෙන එකක් ඩ්‍රයිවර් කොලුවටත් දීල මමත් එකක් ඉක් ඉක්මනට ඇදල දැම්ම උණු ප්ලේන්ටියක් එක්ක.

ඔය අනිවාර්ය වැඩ ටික කරලා නවාතැනට එනකොට නමයයි.රෑ දහයට තමා එක බස් එකක් තියෙන්නේ ලගම තියන ටවුන් එකෙන් කොළඹට.කෑම අන්කල් දොරේ එල්ලලා තිබ්බ රෑ කෑම එකත් අරගෙන මම මුලින්ම සතියේ හෝදන්න තියන ඇදුම් ටික බෑග් එකට දාල පැත්තකට කළා.

නාගෙන කාල පාරට යනකොට නමය හමාරත් පහුවෙලා.දැන් යන්න වෙන්නේ තුන්සක රියක තමා ඉතින්, මහා රජාගේ නගරෙට යන්න එපයි බස් එක ගන්න.ඉතින් මම යනකොට දහයේ කොළඹ යන බස් එක ගිහින්.තවත් පැය දෙකක්  ඒ කියන්නේ රෑ දොළහට තමා අනික් එක තියෙන්නේ.

පින්තුරේ විකිපිඩියාවෙන් 

ඔය කාලේ මම එහාට මෙහාට ඇවිද ඇවිද තේ එකක් බිබී  කනවා.

බස් එක ආපු ගමන් නැග්ග,බෑග් එක බිමින් තිබ්බ මම නිදී...

ඕක කොලබට එනකොට උදේ පහ - පහ හමාර වෙනවා. ඊ ළඟ වැඩේ තමා කබ කඩ කඩ යනවා කොටුවේ ඉස්ටෙසමට.ගිහින් ප්ලැට්ෆොර්ම් ටිකට් එකක් අරගෙන ගිහින් එකේ තියන "මහතුන්ගේ විවේකාගාරය" ඇතුලේ තියන සින්ක් එකෙන් මූන හෝදගෙන රැව්ල කපාගෙන, දත් මැදලා, අරගෙන ආපු අමතර ෂර්ට් එක ඇඳගෙන ලැස්ති වෙලා ඉස්ටේසමේ බංකුවකට වෙලා පොඩි ඇලට් එකක් දානවා යාළුවා එනකල්.(අනේ සංසාරේ මම කාපු කටු ...)
මේ වගේම මහතුන්ගේ විවේකාගාරය කියල එකකුත් තියේ අනික් පැත්තේ ..ෆොටෝ නැහැ බන් ...මේකත් ගත්තේ srilanka.for91days.com

ඔන්න අට අට හමාර විතර වෙන්ට මෙයා එනවා ඉස්ටේසම ලගට.ඔය වෙනකොට අපේ හොදම යාළුකම  ලිමිට් පැනල ගිහින් තිබුනේ.දෙන්නටම ඒ ගැන කතා කරල අපහසුතාවයකට පත් වෙන්න ඕන නැති නිසා, එතනින් එහා දෙවල් ගැන දෙන්නම කතා කරේ නැහැ (කතා නොකරපු එක වැඩි කාලයක් යන්න කලින් මහා විසාල ප්‍රශ්නයක් උනා).

ටවුම පුරා ඇවිදලා කැම්පස් එකට ගිහින් කෑම කාල, (ඔය කාලේ අවුට් වෙලා හිටියට සේකියුරිටි එකෙ උන්ට මතකයි)හවස හත විතර වෙනකොට මම හෝදන්න ගෙනාපු සතියේ ඇදුම් ටික දීල ඊලග සතිය වෙනකල් සමු ගන්න ඕන.

කරුමෙට එදා එයාලගේ අයියගේ ළමයකුගේ උපන්දිනයක්.තියෙන්නේ බොරලස්ගමුවේ.මේක තවම ඒ ගෙවල් වලින් දන්නේ නැහැ.එයිටත් ඔය ලඟක් වෙනකල් දෙයක් තිබුනෙත් නැහැ.නමුත් පොඩි අයිය එක පාරක් දෙපාරක් අපිව දැකල තියනව.නමුත් දන්නේ ගොඩක් කල් යහළුවෙක් කියල විතරයි.

ඉතින් මමත් බොරලැස්ගමුවේ යන්න පිළියන්දල යන බස් එකක නැගල ගිහින් ඒ කිට්ටුව බැහැල කිව්වා එහෙනම් ත්‍රී වීල් එකක් අරගෙන මේ ටික යන්න මම යන්නම් කියල. කියල හැරෙනකොට මෙන්න ඉන්නවා ලොකු අයිය එතනම.

මිනිහ කේක් එක ගෙනියන්න ඇවිත්.

මාව යාලුවෙක්ය කියල දැන උන්නට මෙහෙම දෙයක් දන්නේ නැහැනේ.අනික ගෙදරට පන්ති යනවා කියල ගෙන්න ගත්තේ.මට කට උත්තර නැහැ.මිනිහත් ටිකක් හීනියට හිනාවක් දාල යමු ගෙදර කිව.දැන් මම අතරමං.

මේකි බය උන ගමන් "මගියෝ මම යනවා අයිය එක්ක ඔයා ඔතනින් ගිහින් වමට හැරිලා ඉස්සරහට ගියාම කඩ දෙහෙකට පස්සේ තමා අබාන්ස් එක තියෙන්නේ " කියල මට කියල මාරු . . . 

දැන් වැඩේ හොඳටම අවුල් වෙලා.කවදාවත් නැතුව මට හෙන බරක් දැනුන මේ සිද්දිය.හැමදාම මම කියන කියන වෙලාවට කියන කියන තැන් වල යන්න එනවා.මගේ වැඩ, මගේ ප්‍රශ්න හැම දේකටම.ඒ උනාට දැන් ඒ සිම්පල් යාළුකම දරුණු වගකීමක් වෙලා මට.මෙහෙම මෙයාලගේ ගෙදර ගිය වගක් අපේ ගෙදරින් දන්නවා නම් එකත් ප්‍රශ්නයක්.

මොහොතකට  මම ප්ලෑන් කරනවා ෆෝන් නම්බර් වෙනස් කරලා කතා බහ නොකර වැනිෂ් වෙන්නත්.....බෝඩිමේ ඉඳපු යාළුවා විතරයි මෙයාව දන්නේ.අනිත් යාලුවෝ අදුනන්නේ නැහැ.ඌට කතාකලොත් ....මගේ ඔලුව යකාගේ කම්මල වගේ....

අයිය මෙයාව වාහනේට දාල මා ගාවට ඇවිත් ගෙදර ගිහින් පොඩි වෙලාවක් ඉඳල යමු, අබාන්ස් එකේ වැඩේ පස්සේ කර ගන්න  කියල කිව.ඒ කීව ටෝන් එක ටිකක් කේස්.

මම නිකමට බැලුව එයාගේ මූන බිරන්තට්ටු වෙලා,අද හැමෝටම උත්තර දෙන්න වෙනවා යාලුවෙක් කියාගෙන කොල්ලෙක් එක්ක නිවාඩු දවස් වල ඇවිදින එකට. මුනදෙන්න වෙන සිද්දිය එයාගේ මුනෙන් පේනවා.මම හිතුව දැන් එහෙම කලොත් ඒක හොඳ නැහැ,එක නිසා මම යනවා කියල.

දැන් මේ අව් අස්සේ හෝදන්න ගෙනියපු ඇදුම් ටික මම ආපහු ගත්ත.

එදා තමා එයාලගේ තාත්ත එක්ක කතා කරන්න ලැබුනේ.මා එක්ක බොහොම හොදින් කතා කලා අමතර කිසිම දෙයක් ඇහුවේ නැහැ.මාව අපහසුතාවයකට පත් නොකර "ඉක්මනට යන්න පුතා එහෙනම් බස් එකට පරක්කු වෙනවනේ "කියල මාව නිදහස් කළා.ඔතල දුන්න බත් එකත් අරගෙන මම පය ඉක්මන් කරලා එතනින් පිට උනා.

නමුත් අයිය බැලුවේ තව ටිකක් තියාගෙන මේකේ ඇත්ත නැත්ත කතා කරන්න.මොකද පොඩි අයිය කිහිපවතාවක් අපිව කොටුවේදී දැකලා තියනවා.

නමුත් මම අවුරුදු 5 ක් වගේ ඒ වෙනකොට සාමාන්‍ය යාලුවෙක් විදියට ඇසුරු කරලා තිබුන නිසා කවුරුත් සැක හිතල නැහැ.

ඔය සිද්දිය වෙලා අදට අවුරුදු 7 ක් හරියටම.

මතක් උන නිසා ලිවේ.

මේ සිද්දියෙන් පස්සෙ තමා සම්බන්දෙට හරි තේරුමක් ආවේ. . .

ඊගාව සතියේ, සති දෙකේම ඇදුම් ටික බෑ කියද්දී ඇගේ ගහල ආව හෝදන්න කියල.මම බෙලිඅත්ත ටවුමෙන් අලුත් ෂර්ට් දෙහෙකුයි කලිසමකුයි අරගත්ත ඊ ළඟ සතියේ අඳින්න, එක සතියක ඇදුම් කොළඹ ලොන්ඩරී දාල නිසා . . .



ප.ලි  රෙදි හෝදන එකම නෙමේ මේ කතාව ලියන්න හේතු උනේ ....ඇතුලෙන් යන වෙන කතාවකුත් තියන නිසා ලිවේ . . අපි අතර තිබුන සම්බන්දෙ පටන් ගත්ත දවසක් නොතිබුන නිසා මේ දවස තමා පටන්ගත්ත දවස ලෙස සලකන්නේ ...ඕකයි ලියන්න හේතුව ...

ප.ප.ලි : ඒ කියන්නේ බොලල්ල අද මගේ කෙල්ල එක්ක යාලු උන ඇනිවසරිය ...ඔව් ,,, ඉඳගෙන ....

Thursday 19 September 2013

අප්සට් කේස් එකක් ...

අපේ අප්පච්චි ටිකාක් වෙනස් පුත්ගලයෙක්.මා එක්ක වැඩි සහ සම්බන්දයක් නැහැ.මම දැන් රටින් පිට වෙලා ඇවිත් අවුරුදු 7 කට කිට්ටුයි.මේ කාලෙටම මට කතා කරලා තියෙන්නේ ගණන් කරන්න පුළුවන් වතාවල් කීපයකදී විතරයි.හේතුව  මම දන්නේ නැහැ.මම මෙහෙ ඉඳල කතා කලත් "හා කොහොමද හොදින් ඉන්නවද , ඉන්න මම අම්මට දෙන්න " කිව්වා අම්මට දුන්න ... එච්චරයි .. මම අම්මගෙන් අහ ගන්න ඕන අප්පච්චිට කොහොමද ? මොනවද කරන්නේ විස්තර.

මම පොඩි කාලේ අප්පච්චි ගෙදරට වඩා හිටියේ පිට.එයාගේ දේශපාලන වැඩ කටයුතු නිසා 88 ජුලි මාසේ අපේ ජිවිත උඩු යටිකුරු වෙන සිද්දියක් සිද්ද වුනා.සහෝදර ජනතාව අපේ ගෙවල් ගිනිබත් කරලා ව්‍යාපාරයටත් ගිනි තියල මහා විනාසයක් කලා.එදා ඉඳන් අපේ ආර්ථික මැෂිම දිව්වේ කර කර ගගා.වී ටික එකතු කර ගන්න ගත්ත නය බොහොම අමාරුවෙන් ගෙවල ඉවර උනේ එයිට අවුරුදු 10 කට පස්සේ. ඉතින් ඒ වෙනකොට නංගි බොහොම පොඩි.දැන් මගේ පුතාගේ වයස.අවුරුදු 4ක්.

ඔය සිද්ද්යෙන් පස්සේ රණ්ඩු සරුවල් ඇති උනා අම්ම එක්ක.පවුලේ අනිත් අයත් එක්ක නම් කොහොමත් ඇර ගත්ත ගමන්නේ ඉන්නේ.අනික වතු පිටි වලින් ආපු අදායම විතරයි තිබුනේ.නය ගෙවන්නයි දේශපාලන වැඩ වලටයි ඔය ඉඩ කඩම් ටිකකුත් විකිණිලා තිබුනේ.ඉතින් කියන්න ඕන නැහැනේ අන්තිම අමාරුවෙන් වැඩ ටික කරගෙන ගියේ.

ඒ අතර අප්පච්චි එයාගේ ආතල් එක නැවැත්තුවේ නැහැ.යාලුවෝ එක්ක බිල රෑ එලි වෙනකල් කතා කර කර ඉන්නවා.ඔව්ව ඉතින් අපි කොච්චර කිව්වත් නවත්තුවේ නැහැ.සමහර වෙලාවට මා එක්ක බහින් බස් වෙච්ච වාර තිබුන.ඔය මම උසස් පෙළ කරන කාලේ.

මම ගෙදර යනකොට එයාට මොනවත් ගෙනියන්නේ නැහැ.මොකද කියනවා මට එපා මම මට ඕන එව්වා මම ගන්නම් කියල.මගෙන් කිසිම දෙයක් ගන්නේ නැහැ.අක්කගෙන් නංගිගෙන් ගන්නෙත් නැහැ.න මුත් අපි අම්මට දීල අම්ම ලව්වා  අරගෙන දෙනවා.

ඒ දවස් වල ඈත් වුන එක අදටත් තියනවා.මේ ලිපිය ලියන්න හේතු උනෙත් ඔන්න ඔය හැඟීම තමයි.

අද කවදාවත් නැතිව මට කතා කළා.කතා කරල එයාගේ යාලුවෙක් නැති උනාලු කියල මෙහෙම කිව්වා

" පුතා මම මේ නිකන් කතා කලේ,අම්ම නංගිලාගේ ගෙදර ගියා කියන්න, ඔය හොදින් නේද ?" කිව්වා...

කවදාවත් කතා කරලා මම නිකන් කතාකරේ කියන්නේ නැහැ.මට කියන්න දෙයක් හිතා ගන්න බැරිව ගියා  ටික වෙලාවක් .මොකද වෙනද විදියට කතා කළා නම මමත් ටක් ටක් ගාල කතා කරලා ඉවර කරනවා.අද එහෙම නෙමේ සීරියස් කතා කලේ.

" පුතා මගේ හොඳ යාලුවෙක් නැති වෙලා, මගේ හිතට ඒ තරම් හරි නෑ එකට, මම ඒකයි කතා කලේ " කියල.

මට ඇත්තටම කියන්න දෙයක් නැතිව මම කිව "හරි අප්පච්චි "කියල.එක කිව්වේ ඇයි කියල මමම දන්නේ නැහැ. කිව්වා නෙමේ මට කියවුනා.

එයිට පස්සේ "මම එහෙනම් තියන්නම්" කියල මම හා කියන්නත් කලින් තිබ්බ.

පින්තුරේ www.businessinsider.com

දැන් මට හෙන අප්සට් මේ වෙච්ච වැඩේට.

අම්ම නම් කියන්නේ ඕක හිතන්න එපයි කියල.

ගෑනිට කිවම මගේ  වැරැද්දය, මම හැමවෙලාවෙම දෙමව්පියන්ගේ වැරදි කතා කියනවය, ඒක නිසා තමා ඔක්කොම නැති ප්‍රශ්නය කියල මගේ ඇඟට ගොඩවේගන ආපු නිසා මම ශේප් එකේ වෙන කෝල් එකක් එනවා කියල කට් කරල නිකා හිටිය.

එයා හැදුන පරිසරය අපේ ගෙදරට වඩා ගොඩාක් වෙනස් නිසා එයා අපේ අප්පච්චි එක්ක බොහොම හොඳයි, ඒක නිසා එයා එක්ක මෙව්වා කතා කරලා වැඩක් නැහැ.

නමුත් කොතැනක හෝ මගෙත් වරදක් නම් තියනව කියල මට හිතෙනවා තදින්ම....