Tuesday 13 August 2013

ගල් වැඩ සහ ගල් කතා . ..

මම කාලයක් ගල් වැඩ කරන තැනක වැඩ කලානේ.ගල් වැඩ කීවේ  මේ කළු ගල්,අර පාරවල් හදන්න ගන්නේ.අන්න ඒවා.

මට ඉස්සරෝම රැකියාවක් ලැබුනේ ටිකක් දුෂ්කර පළාතක වැඩ කරන්න.කොළඹ අවට තිබුන රැකියාවල් වලට වඩා ටිකක් වැඩි පඩියක් ඒකේ දුන්න.හැබැයි ඉතින් යමර කට්ට.ඔය වැඩ බිම තිබුනේ ගමක.ඔතන තිබුන ව්‍යාපෘතියේ වාහන රෙපයාර් කරන යාර්ඩ් එකකුයි තව ලොකු ගල් මෝලකුයි.

පින්තුරේ ගත්තේ www.millingcrusher.com
ඉතින් මගේ රාජකාරිය තමා ඔය හැම එකේම වැඩ කරන එක.මම අලුත් නිසා ඔය කොයි වැඩෙත් කරන්න වෙන්නේ මට.ඔය අපි කටු කනවා කියන්නේ.මම කෑවේ හොදම කට්ටක්.හැබැයි ඉතින් ඒ දවස් වල වගේම දැනුත් බැන්නට, හිත දන්නවා වටිනාකම. බිම් මට්ටමේ වැඩ කල නිසා අලුත් දේවල් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත.

ඉතින් ඔතන තියනවා ලොකු ගල් වලක්.ගල් වෙඩි දාලනේ ගල් කඩන්නේ.ඒ කඩපු ගල් පොඩි කැට කරන මැෂිමේ තමා මගේ ප්‍රධාන රාජකාරිය.ඒ වුනත් ඔය වෙඩි බෙහෙත් දාල වෙඩි ගහන එක මට ටිකක් අල්ලලා ගිය සීන් එකක්.
මේක මම ගත්ත එකක්  

එයිට කලින් කියල ඉන්නම්කො,ඒ ව්‍යාපෘතියේ හිටිය මැනේජර් ටිකක් වයසක කෙනෙක්.මම ඒ වැඩබිමේ උන්නට මාව ගත්තේ ප්‍රධාන කාර්යාලයේ ඉන්න ඒ ආයතනයට අයිති ඔක්කොම ගල් කඩන මැෂින් බලාගන්න ඉංජිනේරු මහත්තයෙක් යටතේ.මිනිහත්  පනහ පැනල වුනාට ටිකක් විනොදෙට බර සරල මනුස්සයෙක්.හැබැයි කොයි වෙලාවේ බැලුවත් ෂොට් එකක් නෙමේ දෙක තුනක් දාල ඉන්නේ වැඩ කරන වෙලාවෙදිත් එහෙම තමා.වැඩ වලට නම් දක්ෂය.පරණ මනුස්සයෙක් නිසා වැඩ වලට ඕන රජයේ මිනිස්සු ටික එහෙම හොදට අදුනනව.දවසක් ඔය ක්‍රෂර් එක කැඩිලා,ඕක ගලවන්න මට ෆෝන් එකෙන් කොළඹ ඉඳන් ගලවන හැටි කියා දුන්න.ඇනයක් මුරුච්චියක් ගානේ මතකයි.

ඔහොම වැඩ කරගෙන ඉන්න අතරේ මම අර ගල් වෙඩි දාන උන් එක්ක පොඩ්ඩක් හිතවත් වෙලා ඔය වැඩේ ඉගෙන ගන්න ට්‍රයි එකක් දුන්න.මාසයක් දෙකක් යනකොට ඒ වැඩේ කරගන්න පුළුවන් උනා.වෙනදට වඩා ටිකක් වැඩිපුර ගල් ටිකක් පාරට යවාගන්නත් පුළුවන් උන නිසා උඩ හිටපු ඉංජිනේරු මහත්තයත් මගේ මේ වැඩේට අකමැත්තක් පෙන්නුවේ නැහැ.ඔහොම යනකොට ඔය පාර හදන එකට අපිට වඩා ප්‍රසිද්ද කොන්තරක් කාරයෙක් වුනු, ඒ දවස් වල පත් වුන අලුත රජතුමාගේ අනුහසින් අපිව ඉවත් කරලා ඒ ව්‍යාපෘතිය ගන්න හදනවා කියල කතාවක් ආව.අපේ ආයතනය ඒ බලවත් තුමාගේ ගෙදර ඉස්සරහ පාර එහෙම කොන්ක්‍රීට් කරලා දුන්නට වැඩක් උනේ නැහැ.

ඉතින් අපිට සිද්ද වුනා ඉක්මන් කරලා වැඩ ටික ඉවර කරන්න.දැන් මම තමයි ගල් වලේ සහ මැෂිමේ වැඩ කරන්නේ.ඉතින් මට කීවා වෙනද දෙනවට වඩා එකහමාරක් වැඩිපුර ප්‍රඩක්ෂන් එකක් ඕනය කියල.ඉතින් මම අලුත් ටෙස්ට් බ්ලාස්ට් එකක් එහෙම කරලා වැඩිපුර වේඩි බෙහෙත් පාවිච්චි කරන්න  රජයේ පරිපාලක තුමාගෙන්  අවසර අරගෙන, පළවැනි දවසේ උපරිම හොඳට කළා.

ඉතින් පළවැනි දවසේ වැඩේ හරි ගිය නිසා,මටත් සැටිස්.දෙවැනි දවසේත් කලින් වගේම වැඩ ටික ලෑස්ති කරලා, වෙඩි බෙහෙත් ටික පත්තු කරන්න කියල වැඩ බිමෙන් එලියට ගියා.ගිහින් විනාඩි දහයක් විතර යනකොට මහා සද්දයක් ආව " දඩාන්" ගාල.මම දැනගත්ත මේක නම් ලේසි එකෙක් නෙමේ කියල, මොකක් නමුත් වැරදිලා.

මේක මම එහෙදි ගත්ත එකක්.මේක පොඩි බ්ලාස්ට් එකක්.ලොකු වීඩියෝ එකක් තිබ්බ දැන් එක හොයා ගන්න නැහැ 

වැඩපල පැත්තේ මිනිස්සු කෑ ගහනවා ඇහුන යටිගිටියෙන්.අද නම් එකෙක් ඉවර වෙලා තමා කියල මම  ඔෆිස් එකෙන් එලියට දුවගෙන ගිහින් බලනකොට මහා ගල් කැට වරුසාවක් එනවා ඔෆිස් එක පැත්තට.මිනිස්සු සී සී කඩ දුවනවා.සට සට ගාල ගල් කැට ටකරන් වහලෙට වැටෙනවා.සමහර එව්වා ටකරම හිල් කරගෙන මේස උඩටත් වැටෙනවා.

මම ෂොක් වෙලා ගියා මේක දැකල.එතකොටම මැනේජර්ගේ කාමරයේ පැත්තෙන් වහලේ කඩාගෙන ගල් කැල්ලක් ඇතුලට වැටුන.කිසි දෙයක් හිතා ගන්නවත් වෙලාවක් තිබුනේ නැහැ.මැනේජර් මහත්තය හිටපු තැනින් එහාට පනින්න හැදුවත් ඊට කලින් ඒ ගල් කෑල්ල වහලේ තිබුන යකඩ බීම් එකකත් වැදිලා ඇවිත් මැනේජර් මහත්තයාගේ නළල දිහාට පාත් වෙනවා දැක්ක.

මැනේජර් මහත්තයාගේ ඔලුවෙන් ලේ ගලනවා හෝ ගාල.හැමෝම එකතු වෙලා මැනේජර් මහත්තයව වාහනේකට දාගෙන ඉස්පිරිතාලෙට අරගෙන ගියා.මමත් ඔය වාහනේම නැගල ගියා ඉස්පිරිතාලෙට.හවස් වෙනකොට මනුස්සයට ටිකක් හොදයි.නළල හරියෙන් පැලිලා විතරයි.හැබැයි ලොකුවට වැදිලා.

සයිට් එක නිකන් මල ගෙයක් වගේ.හොඳ වෙලාවට වෙන කාටවත් වැදිලා නැහැ.මොකද එළියේ උන්නු අයට උඩ බලල අහකට වෙන්න පුළුවන් උනත් ඇතුලේ ඉන්න කෙනෙකුට අහකට වෙන්න පෙන්නේ නැහැනේ.දැන් මේකේ වරද එන්නේ මගේ පිට.මම ඉක්මනට ගිහින් වෙඩි බෙහෙත් ඉශු කරපු පොත් ටික අරගෙන ඉස්ටෝරුවට දාල වහල යතුර සාක්කුවේ දාගත්ත.මොකෙක් හරි ඔය පොත් ටික විසි කලොත් මම පාවිච්චි කල වෙඩි බෙහෙත් ගාන කියා ගන්න සාක්කි නැති වෙනවා.

රෑ වෙනකොට මාව ගත්ත ඉංජිනේරු මහත්තය සයිට් එකට ආව මේ කේස් එක නිසා.අර වැඩ කරපු කොල්ලෝ ටිකත් හැංගිච්ච තැන් වලින් එලියට ඇවිත්.දැන් මම තමා හැමෝගෙම මාතෘකාව.මට තේරෙන්නේ නැහැ වැරදුන තැන.කොහොම හරි උණ දේ උනා.එන දේකට මූන දෙනවා කියල පැත්තකට වෙලා හිටිය.සමහරු මම එතන හිටියේ නැහැ කියලත් නෝක්කාඩු කියනවා.අර සයිට් එක ගන්න ඉන්න අයගේ වැඩක් මමත් එකට හවුල් කියලත් කතාවක් හැදිලා.

දැන් පරීක්ශනේ.

මම අර පොත් ටික දීල තව මම ඇඳපු චිත්‍ර ටිකත් දීල කිව්වා කල විදිය.මම අර අනුමත ප්‍රමාණයට වඩා පාවිච්චි කරලා නැහැ කියල පෙනන්න.අර කොල්ලෝ ටිකගෙනුත් විස්තර ඇහුව.අන්තිමට තීරණය කළා කලින් දවසේ දාපු වෙඩි වලින් බුරුල් වුන කොටසක් තමා විසි වෙලා තියෙන්නේ කියල.

දැන් ප්‍රශ්නේ නීති ගැටළු.

මිනිහ මට පැත්තකට අඬගහල කීවා "උඹ කවුරු හරි ඇහුවොත් කියපන් ක්‍රෂර් එක කරන එක විතරයි කරන්නේ අනිත් දේවල් ගැන දන්නේ නැහැ කියල,මම ඉතිරි ටික බලාගන්නම් "කියල.අර කොල්ලෝ ටිකට කියන්න දෙයක් නැහැ ඒකට කැමති වෙනවා ඇරෙන්න.ඇත්තටම මම මේ ගල් වලේ වැඩට නෙමේනේ ආවේ.මේක මම බලෙන් දා ගත්ත එකක්නේ.එකට ඉන්න ඕන කැනීම් ඉංජිනේරුවෙක්.

එදා වෙන්න තිබ්බ ප්‍රශ්න වලින් බේර ගත්තේ අර ඉංජිනේරු මහත්තය.නැත්නම් මම මගේ හිතුමතේට වැඩ කරලා වෙච්ච වැඩේ නිසා ගොඩක් ප්‍රශ්න වලට මුණ දෙන්න වෙනවා.

හැබැයි ඉතින් ඒ උදවියත් මම ඔය වැඩේ කරනවට කිසිම උපදෙසක් වත් දුන්නේ නැහැ.ඒ අයගේ ප්‍රඩක්ෂන් එක ලැබෙන නිසා සද්ද නැතිව හිටිය.අනික ඔය වගේ තැනක ඉන්න ඕනලු කැනීම් ඉංජිනේරුවෙක්.එහෙම කෙනෙක් හිටියෙත් නැති නිසා පොලිසි ගියා නම් ආයතනයටත් වග කියන්න වෙනවා.ඒවත් බලපාන්න ඇති.

ඔය සිද්දියෙන් පස්සේ ඒ ව්‍යාපෘතිය අර කලින් කිව කොම්පනි එකෙන් ගත්ත.මාව බේර ගත්ත ඉංජිනේරු මහත්තය අයින් වෙලා යනකොට මාවත් එයාගේ අලුත් ආයතනයට ගත්ත,ඒකෙ මාස 4ක් වැඩ කරලා තමා මම මෙහෙ ආවේ.

ඔන්න මගේ පළවැනි රැකියාව අවසන් වුන හැටි.

24 comments:

  1. නියම අත්දැකීමක් ! අළුතින්ම වැඩකට ගියහම ඕනි කෙනෙකුට ඔහොම වෙනවා..ආසවට ස්සහ උනට තියෙන සේරම ජාති ඉගෙන ගන්න යනවා..මම ගොඩනැගිලි කොන්ත්‍රාත් සමාගමට වැඩට ගියේ සහකාර ගණකාධිකාරී විදියට උනාට අවුරුද්දකට පස්සෙ මේන් ඕටෝකැඩ් එකෙන් පොඩි පොඩි කෑලි ඇඳලා කරලා දුන්නෙත් මමමයි...ගණකාධිකාරීගෙන් හැමදාම බැනුම් ගිණුම් ටික අප්ඩේට් නෑයි කියලා..

    ReplyDelete
    Replies
    1. අත්දැකීම නම් හොදයි කියල දැන් තම තේරෙන්නේ වැනි.එදා නම් මම ගෙදරද හිරේද කියල නිච්චි නැතුව උන්නේ.ඒ වගේ දෙකට වගකියන්න ඕන කියන මානසිකත්වය ආවම පිස්සු හැදෙනවා වැනි.

      Delete
  2. ජීවිතයට හොදඅත්දැකීමක්....;)

    ReplyDelete
    Replies
    1. ඔව් නියම අත්දැකීමක් තමා.හැබැයි පෙර පිනකින් බේරුනේ කියලත් හිතෙනවා වෙලාවකට.

      Delete
  3. rock blasting කියන්නේ තනිකරම විසාල විෂයයක්, එකට අනිවාර්යයෙන් minning engineer කෙනෙක් ගේ supervision එකක් තියෙන්න ඕනේ, control blasting methodology හරියයට භාවිතා කලානම් ඕක වෙන්නේ නෑ, මේක වෙලා තියෙන්නේ ඔයාට වැඩේ කරන විදිහ දැනගත්තට methodology එක ගැන හරි අවබෝධයක් නැති නිසා

    ReplyDelete
    Replies
    1. ඔව් බන්, මම ඉතින් අර කොල්ලොන්ගේනුයි හොයා ගත්ත පොත් වලිනුයි නේ මචන් වැඩේ කලේ, අර කොල්ලෝ ටික කරන්නේ හරියටම දැනගෙන නෙමේ.මම ඔය මෙතර්ඩ්ස් ටිකක් දැනගෙන හිටිය පොත් වලින් හොයාගෙන.Blast එකේ face එක එහෙම හදාගත්ත කැලේ පැත්තට වෙන්න.අනික geotextile දාල ටයර් දාල කලේ.වෙලා තියන්නේ කලින් දවසේ පොඩි ක්‍රැක් එකක් තිබුන තැනක් ඩ්‍රිල් කලාම කේස්.

      Delete
  4. අලුත් තැනකට ගියාට පස්සෙ ඔය වගේ හැම එහෙකටම ඇඟිලි ගහන එක ගොඩක් අයගෙ පුරුද්දක් තමයි. හොඳ වෙලා‍වට එකෙක්වත් යටිපස්ගම ගියේ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. අඩේ ඇඟිලි ගහන්න ගියේ නැහැ බන්.ආසාවට කරන්න හැදුවේ.මට වැඩේ අල්ලලා ගිය නිසා දිගටම කළා.අනික ක්‍රෂර් එකක් කරනවා නම් හැම තැනම quarry එකක් තියන නිසා ඉස්සරහට හොඳ වයි කියල හිතුන දැනගත්තොත්.ප්‍රශ්නේ උනේ මම ඩ්‍රිල් කරපුව balst කරන්න කලින් චෙක් කලේ නැති එක.

      යටිපස්වල ගියා නම් මම හිරේ.එක නම් මගේ වෙලාවට උනේ නැත්තේ

      Delete
  5. හම්මා...ආතල් නේ. ඔය වගේ බොක්ක කූල් වෙන අවස්ථා මටත් තියෙනවා. දවසක් අපි සයිට් එකේ වැඩ. නිවාඩු දවසක් හින්දා වැඩිය කට්ටියත් නෑ. වැඩ කරන උන් ඉන්නවා. ඉන්ජෝ ටික නෑ. ට්‍රේනින් හිටපු අපි විතරයි.

    ටවර් ක්‍රේන් එක වැදුනා තට්ටු 3ක් උඩ ගහපු ස්කැෆෝල්ඩින් සෙට් එකක. ඇදගෙන වැටුනා දඩං ගාලා. නැවතුනේ හරියටම ස්ලැබ් එකේ මුල්ලේ. කොහොමද ඒක වැටුනනම් තට්ටු 25ක් බිමට....

    මට කෑගැස්සුනා අප්පා!!! :/

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ වැඩ... හැබැයි ඔහොම එකක් නොවුනොත් අපි බය වෙන්නෙත් නැහැනේ.උනහම කොහොමත් ටිකක් වැඩිපුර පරිස්සම් වෙනවනේ.ඔය කාලේ අපේ වැඩ සහ අවදානය වැටෙන්නේ පොඩි පරාසයකට විතරයි.අනික් එව්වා පෙන්නේ නැහැ.

      Delete
  6. ගල් කෝස් එක ලේසි නෑ නේද?

    ReplyDelete
    Replies
    1. ලේසි නැහැ බන්,හැබැයි ආතල් වැඩේ.බ්ලාස්ට් කරලා ගල් එක එක ගොඩකට වැටෙනකොට හෙන ෆන්.අනික තම අහල පහල උන් ගෙන් තියන ප්‍රශ්න.ඔය ගල් වල ළඟ එකෙක් හිටිය ඌ හෙන බෙබේ කෙනෙක්.ඌ මාර ට්‍රයි එකක් දුන්න අපේ කොම්පැනියෙන් හානි උනා කියල වන්දි ගන්න.ඔය බ්ලාස්ට් එක කරන්න කලින් එකෙක් වටේටම ගිහින් කියන්න ඕන.එතකොට මූ ෆෝම් වෙලා එනවා සරම කරට අරගෙන "උඹලගේ අ___ ගල් බොරේ" කියාගෙන..පට්ට ආතල්.

      Delete
  7. නියම අත්දැකීමක්. හැබැයි ඉතිං ඕනවට වඩා කරන්න ගියොත් කාට උනත් වෙන්නේ ඔය ටික තමා. වෙලාවට උඹේ බොසා උඹව බේරගත්තේ. ගොඩින් ගියා මදෑ බැරි වෙලා හරි අහල පහල පාරේ ගියපු මිනිහෙක්ගේ ගල් කෑල්ලක් වැදුනනං උසාවි තමා. දෙකක් නෑ

    ReplyDelete
    Replies
    1. ඇත්දැකීම නම් හොඳා වැඩේ වැරදුනා නම් මම ඉවරෙටම ඉවරයි.ඔය දක්ෂිණ අධිවේගේ මගේ යාලුවෙකුට උනා.එකේ බ්ලාස්ට් එකක් නිසා ගෑනු කෙනෙක් මැරුණා.අන්තිමට බ්ලාස්ට් එක කරපු කොම්පනි එක බේරුනා අහු උනේ මොනිටර් කරන්න ගිහින් ඉඳපු ඉන්ජව.ඌට හෙන ගොඩක් ප්‍රශ්න වලට මුන දෙන්න උනා.ඌට ලංකාවේ කොහෙවත් ජොබ් එකක් ගන්න ලැබුනේ නැහැ.මාරම කට්ටක් කාල ඔස්ට්‍රලියාවට පැන ගත්ත.දැන් නම් උඋට හොඳා එහෙ.

      Delete
    2. උඹ ඔය පිස්සු චම්පික ගැන නේද කියන්නෙ..... ඇයි බන් පිස්සන්ව ගන්නවද වැඩට....

      Delete
    3. පුත්ගලය නම් ඌ තමා, ....

      Delete
  8. පට්ට බොසෙක් නෙ ඉදල තියෙන්නෙ.පොරට ගහන්න ඔන සෑලුට් එකක

    ReplyDelete
    Replies
    1. ඌ නම් සිරාම සිර මචන්.වැඩ නොම්බර එකයි.කොයි වෙලාවෙත් බිල ඉන්නේ හැබැයි හෙන ගැහුවා මතකයි.

      Delete
  9. මම උඹේ අත්දැකීම් ගැන කියවලා තියෙනවා. උඹත් මාර ක‍ටු කාල තියෙන්නේ නේද? අර මැද පෙරදිග රස්සාවල් පවා...

    ReplyDelete
    Replies
    1. හෙන්රි, කටු ගැන නම් කියල වැඩක් නැහැ.දැන් තමයි පොඩ්ඩක් හරි නිවිසැනසිල්ලේ ඉන්නේ.මගේ හෙනහුරා ලබල තිබුන කාලයක්ද කොහෙද බන්.

      Delete
  10. කළු ගල් වලවල් කියන්නෙ සෑහෙන්න භයානක තැන්. බදුලු පාර හදන්න ගල් කඩපු තැන වෙඩි ගහද්දි පත සයිස් ගල් උඩ යන හැටි වතාවක් දෙකක් දැකල තියනවා.. සමහර වෙලාවට හිතාගන්න වත් බැරි තරම් දුරට ගල් විසි වෙනවා..

    මාරම අත්දැකීම් ටිකක් නේද..

    ReplyDelete
    Replies
    1. ඔව් මචං, හොඳටම පරිස්සම් වෙලා කරන්න ඕන රැකියාවක් තමා ඕක.ඔතන වැඩේ තියෙන්නේ,බ්ලාස්ට් එකෙන් ගල පොඩි කෑලි වලට නොකඩුනොත් ක්‍රෂර් එකට දාන්න කලින් ආපහු බ්‍රේකර් එකකින් කඩන්න ඕන.ඔය බ්‍රකෙර් එක පැයකට ලොකු ගානක්.එක නිසා බ්ලාස්ට් එකෙන්ම පොඩි කර ගන්න ඕන.නැත්නම් පාඩුයි.ඕක කරන්න ගිහින් තමා ඔය වැඩේ උනේ.

      Delete
  11. උඹ වාසනාවන්තයි කාටවත් ජීවිත හානියක් නොවුනු එක.උඹේ අත්දැකීම් අනුව කපන එකද ලේසි කඩන එකද?

    ReplyDelete
    Replies
    1. එක නම් හැබෑව..පළවැනි වැඩේ ලේසි බන්..ජිවිත අවදානම් නැහැනේ :D

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .