Showing posts with label රට කතා. Show all posts
Showing posts with label රට කතා. Show all posts

Tuesday, 23 September 2014

ක්ලයන්ට්ගේ පොරගේ වද මල් තේ එක. . .


ලියන්න ගත්තේ පවුල ගෙදර යැව්වම . ආවම නවතුනානෙව.

පහුගිය සතියේ සංගීත එහෙකදී හැබැහින් නොදැක්ක , දුකා ලොක්ක හමු උනා හැබෑවට . පොඩිම පොඩි එකාවත් අරගෙන ඇවිදින් උන්න. ඉතින් මොනා හරි කියල ලියන්න ඕන උනා.

ඇත්තටම වැඩේ උනේ, මගේ රැකියා ඉස්තානය මාරු උන නිසා මෙව්වා ලියන්න බැරි උනා එතන. සමාජ ශාලා අඩවි බ්ලොක්. බ්ලොගර් බ්ලොක්. ගෙදර ගියාම දෙන්නෙක් ඉන්නවා ඉතිරි කාලේ ගන්න. ඉතින් මග අරුන.

මම මේකේ කිවේ මගේ පුත්ගලික කතන්දර නිසා වෙන අඩුම කුඩුම ලියන්නත් බැහැනේ.

අර මම ක්ලයන්ට් ගාවට ගෙනත් දාපු හාදය ඔන්න යන්න ගියා. ඉතින් මම දැන් තනියම. මොනා උනත් හොද එකා.

මගේ මස්සිනා වෙච්ච එකා මා එක්ක තරහ උනා.

මම අර ගිය එකා ගැන කියන්නම් අද.

ඉතින් මම ඔය ක්ලයන්ට් ගාවට ගෙනා එකාගේ එක එක කොම්ප්ලේන් තිබ්බනේ. මම නම් ඔව්ව වැඩිය ගණන් ගත්තෙ නැහැ. 

හැමදාම ඉතින් ඌ උදේ තේ එක එහෙම බීලඑනවා මගේ කාමරේට.

දැන් මේ එන්නේ ක්ලයන්ට් ගේ මිනිහෙක් නේ.

ඉතින් අපේ කොම්පැනියේ අයත් ඕකේ.

ඔහොමආපු දවසක මම ඉතින් අපේ කා.කා.ස ට කියල තේ එකක් බීම එකක් එහෙම දෙනවා.

මෙහෙ තියනවා ඔය එක එක ජාතියේ තේ වර්ග. දෙහි දාපුවා, ඉඟුරු දාපුවා, දෙහි ඉඟුරු දෙකම දාපුවා.

ඔය අතර තියනවා වද මල් වලින් හදපු තේ එකක්. රතු පාට.මම ඉතින් ඕක බොනවා ඔය දවසේ මිනිහ එනකොට.

ඔය අපේ යාළුවා, ටිකක් කට සැර ඩයල් එකක්. මෙහෙ වැඩ කරපු අය දන්නවා, කට කියන්නේ මෙහෙ උපාදියක්. ඒක නැත්නම් වැඩ කරන්න අමාරුයි. මී අපේ යාළුවගේ කට හොදට වැඩ නිසා, එතන ලොක්ක එක්ක සෙට් උනා.

මිනිහ මගේ ගාවින් තේ එකක් එහෙම බිල යන්න ගියා.

පහුවදා උදේම අපේ ලොක්ක මට කෝල් කළා. ඇහුව අර ක්ලයන්ට් ගේ කෙනා ඔයා නේද ගෙනාවේ කියල. මම කිව ඔව් ඇයි කියල.

අපේ බොස් කියනවා අන්න අපි එයට මිස් ට්‍රිට් කළා කියල කලයන්ට් කියනවා,  ගිහින් බලන්න කියල.

මම බැලුව මොකක්ද බොල මේ උනේ. 

ඕන දෙයක් තියේ නම් මට කියන්න බැරිද මේ යස්සයට කියල හිත හිත මම ගියා ක්ලයන්ට් ගේ ලොක්ක හම්බ වෙන්න. 

වෙලා තියෙන්නේ මේකයි. 

මම අර රතු පාට බිමක් බිව්වනේ.

මේ යකා ගිහින් උගේ කා.කාස ට කියල ඒ වගේ රතු පාට තේ එකක් ගෙනත් දෙන්නය කියල.

ඌ කියල අපිට එහෙම තේ එකක් දීල නැත කියල.

අපේ යෝදය ගිහින් උගේ ලොක්ක වෙච්ච ගල් අරබියට කියල "කොන්සල්ටන්ට් රතු පාට බිමක් බොනවය, කොන්තරක්කාරය ඒක අපිට දෙන්නේ නැතිය කියල " 

ඌ කතා කරලා කොන්තරක් කාරයට ඇයි අපිට ඒවා දෙන්නේ නැත්තේ කියල.

කොන්තරක් කාරය විහිලුවට කියල කොන්සල්ටන්ට් බිල කපන නිසා දෙන්නේ නැහැ කියල.

කොන්තරක් කාරයාගේ ලොක්ක තමා ඔය කෑම බිම බිල් ගෙවන්නේ.

ඉතිං ඒ ලොක්ක කතා කරලා අපේ බොසාට ක්ලයන්ට්ට මිස් ට්‍රිට් කළා කියල කොම්ප්ලේන් එකක් දමල.

ඔන්න අර වද මල් තේ එක නිසා මු ලංකාවේ නම තිබ්බ හැටි.

මේකට මගේ අහල එක අරගෙන බිව නම් හරිනේ, මොකටද උගේ ලොක්කට ඔව්ව කියන්න ගියේ. 

ඔන්න වද මල් තේ එක , , ,


හදපුවම මෙහෙමයි 



මෙහෙ කියන්නේ "කිර්කති" කියල

Monday, 27 January 2014

අපේ කම . . .

එකෝමත් එක කාලයක වඩු මඩුවෙ කතාව මතක ඇති නේ.

මේ ඒකෙ දෙවෙනි කොටස.

ඉතින් ඔන්න ඒ ආකාරයෙන් වඩු කාර්මිකයෝ ඒ සතුටු සාජ්ජෙ අවසාන කලා.නමුත් සතුටු සාජ්ජේ නිසා ඇති වෙච්ච ගිනි ගොඩ හිමිහිට නිමිල ගියත්, පොඩි පොඩි ගිණි පුලිගු මුලු ගම පුරා විසිරුණේ අනාගතයට ඉවර නොවුන කාර්‍යභාරයක් ඉතිරි කරමින්.

මෙයිට වසර කිහිපයකට පෙර එක දක්ෂ වඩු කාර්මිකයෙක් අල්ලපු ගමක ඉදන් මේ ගමට පය තිබ්බ.බොහොම සුන්දර මනුස්සයෙක් උන මේ වඩු කාර්මික මහතා අර කුඩා ගමෙන් ආපු සියලු දෙනාටම බොහොම හොද සගයෙක් උනා.

ඉතින් දවසක් මේ වඩු මහත්තයගෙන් මිතුරෙක් ඉල්ලා හිටිය ඔහු ඉතා මහන්සියෙන් ඉගෙන ගත්ත ශිල්පය කරුණු කාරණා අඩු පාඩු උදවියට කියා දෙන්නය කියල.

ඒ වඩු මහත්තයා තමන් උගත් දේ කිසිම පැකිලීමකින් තොරව තමාගේ මිත්‍රයාට පිලිවෙලක් ඇතිව කියා දුන්න නිසා,මේ බව ගම් ගෙවල්,නවාතැන් ,වැඩපලවල් අතර විහිදෙන්න වැඩි කලක් ගත උනේ නෑ.

දින සති මාස ගෙවෙමින් යන අතරතුර දැණුම පිපාසෙන් තම නිවසේ දොරට තට්ටු කරන ඕනෑම අයෙකුට කිසිම බේදයකින් තොරව දන්නා නොදන්නා සියලු දෙනාට නොමසුරුව තම ධනය කාලය වැය කරමින් උපකාර කලා.

කාලය සුපුරුදු ලෙස හැල්මේ දිව්වා.

එක් මිත්‍රයෙකු වෙනුවෙන් ආරම්භ කල සාකච්චාව, සාකච්චා මණ්ඩපයක් දක්වා විහිද ගියා.

මේ සාකච්චාවට දැන් ප්‍රවීණ වඩු මහත්තයාගේ නිවස පිරෙන්න සාමාජිකයින් එකතු උනා.

නිවසේ තිබුණ වාඩි වීමට හැකි සියලු දේ අවසන් වූ පසු පන්තියට එනවිට පුටුවක් තමාගේ භාවිත‍යට රැගෙන දැණුම පිපාසාව සන්සිදවා ගැනීමට පවා සාමාජිකයින් පෙළඹුණා.

මෙයාකාරයෙන් මේ පන්තිය නිසොල්මනේ සියලු වඩුකා‍ර්මිකයන්ගේ අවශ්‍යතා ඉටුකරමින් ඉමහත් ජනාදරයට පත් උනා.

කාලය විසින් සියලු දේ නොවෙනස්ව පවත්වා ගැනීමට ඉඩ නොතැබීය.

සතුටු සාජ්ජෙ ගින්නෙන් ගම පුරා විසි  වුණු ගිනි පුලිගු වියලි දඩු කැබලි රත් ක‍ර තිබුණා.

පරණ වඩු කාර්මිකයින් මේ දෙස සතුටු සාජ්ජේ වෙනකල් වපරහින් බැලමින් සිටියත්, ඉන් පසු ඇති වූ බෙදීමෙන් මේ ප්‍රවීණ වඩු කාර්මික මහතා ඉන් ඉවත් උන නිසා මේ සත්කාරයට එරෙහිව සැලසුම් ක්‍රියාත්මක කරා.

ප්‍රතිපලය පෙරදී ප්‍රතික්ෂේප කල අලුත් වඩු කාර්මිකයන්ගේ අවශ්‍යතා, දැන් ක්‍රියාත්මක කිරීම සදහා ප්‍රවීණ වඩු කාර්මිකයාගේ නිවසේ සාකච්චාව පැවැත්වෙන වෙලාවටම එම දිනයෙම වෙනත් සාකච්චාවක් කැදවා මේ අප්‍රතිහත අවංක උත්සාහය කඩා බිද දැමීමට උත්සාහ කිරීම.

ආරම්බයේ සිටම සතුටු සාජ්ජය දක්වා අවුරුදු තුනක් දක්වා නොවුණ මෙවන් දේවල් දැන් සිදු වෙන්නේ මේ එකතුවීමට බිය වී ඇති නිසා බහ පැහැදිලිය.

ඉතින් ඔන්න දෙවන වරටත් උගත් කමට වඩා "අපේ කම" ඉස්මතු උනා  . . .



Sunday, 15 December 2013

රෙෆරන්ස් ටු දේශකයාස් පොස්ට් ඩේටඩ් 22/11/2013

දවස ගිය අවුරුද්දේ ඊද් නිවාඩුවට කලින් දවස.ඒ කියන්නේ අගෝස්තු 17.ඔය දවස් වල මගියාගේ හාමිනේ දුව හම්බවෙන්න හිටපු කාලේ.ජුනියර්ට වයස තුනයි.

ඉතින් ඊද් දවස් වල ශෝපින්ග් මෝල් වල හොදටම සෙනග.මම හවස තුනට විතර ගියා මෙහෙ තියන සාප්පු සන්කීර්ණයකට.නම ඩුබායි මෝල් කියල.එකේ තියනව ලෝකේ ලොකුම මාලු ටැංකිය.ඉතින ඕක පටන් අරගෙන අවුරුදු කීපයක් ගියත් මම බලන්න ගිහින් තිබුනේ නැහැ.
පින්තුරෙ http://sharememe.org/dubai-mall-aquarium-diving-7-hd-wallpapers/dubai-mall-aquarium-diving-7-hd-wallpapers-2/
මෝල්එක හෙන ලොකුයි.එහෙං මෙහෙං යන්න තියනවා අපිටත් අමාරුයි හොයා ගන්න.

මම ඔන්න ටිකට් තුනකුත් ඇන්න ඇතුලට ගියා.මාලු ටැන්කිය ඇතුල උමගක් වගේ වටේට විදුරු.ජුනියර් එහාට මෙහාට දුවනවා, මාළු බලන්න.

ඌ මේ වගේ එකක් දැක්ක පලවෙනි එක නිසා හෙන එක්සයිට්.මමත් ඕන විදියට නටන්න දීල හිටිය.ඔය උමග උඩ රවුන් කීවෙ ඕවලාකාරයි.මගෙත් ඔලුව ටිකක් මන්නන් වෙලා ගියා නිකන් කැරකෙනවා වගේ.

ඔය විසිතුරු බලන අතර පොඩිඑකත් එහෙ මෙහෙ දුවනව.මම පුතා එක කොනකට යනව පොටෝ එකක් අරගෙන කැමරාවෙන් පොටෝ එක දිහත් බලල,
ලමය හිටි තැන බැලුව.

 කෝ ජුනියර් ???????????????

එහා කොනේ ඉදන් මෙහා කොනට යනකල් දෙපාරක් ගියා.එලියට ගිහින් වටෙන්ම අවිදලත් බැලුව මේක නැහැ.හාමිනේට ඔලුව කැරකෙනවා කියල එලියට ගිහින් පුටුවක වැඩි වෙලා උන්නේ.මම එයට නොපෙනෙන්න මේකව හොයනවා.මොකද මේ ඉන්න තත්ත්වේ අනුව ඔය වගේ දෙයක් කියන්න බැරි නිසා.

හැමතැනම බැලුව නැහැ.පුතා වෙනදට ගිය දිහකින් ඒ ගිය පාර දිගේම ආපහු එන පුරුද්දක් තියනවා.එක නිසා මම ටිකක් බැලුව එයිද කියල.විනාඩි දහයක් විතර හිටිය දැන් නම් ඉන්නම බැහැ.මගේ පපුව නිකන් බර වෙලා වගේ.අත් දෙකත් සිතල වෙලා කතා කර ගන්නවත් බැහැ.

මගේ වෙනස දැකපු වයිෆ්ට තේරුණා වෙලා තියන දේ.
එයා අඩනවා දුවනවා ලමය හොයන්න.

 මම එතන හිටපු සිකුරිටි එකාට කිව.ඌ ඒ ගමන්ම උන්ගේ ලොක්කට කෝල් කරලා ඇදගෙන හිටිය ඇදුම් ගැන විස්තරයක් සහ පුතාගේ ෆොටෝ එකක් යැව්වා.ඌ කියනවා බය වෙන්න එපාය හැම මීටර් 20 කටම එක සිවිල් ඔෆිසර් කෙනෙක් ඉන්නවය ඒ හැමෝටම ෆොටෝ එක යැව්වය කියල.

මමත් ඒ ළඟ යයි කියල හිතන්න පුළුවන් හැම කඩේටම ගිහින් බැලුව.මිනිහ ආසයි ඔය සෙල්ලම් කාර් වලට.ඒක නිසා ඒ ළඟ තිබුන සෙල්ලම් බඩු කඩේ හැමතැනම බැලුව.දැන් විනාඩි විස්සකට වැඩි.

මම මුලින් ගොඩක් විශ්වාස කරා පුතා ගිය පාරේම අපහු එනවා කියල.වෙලාව යනකොට ඒ විශ්වාසේත් හෙලෙන්න ගත්ත.

බලන්න පුළුවන් හැම තැනකම බැලුව.CID  එකේ උන් ටිකත් එහාට මෙහාට කෝල් කරනවා විතරයි.

දැන් වයිෆ් කලන්තේ දාන ගානට ඇවිත්.එයත් පුටුවක ඉන්දල මම හැමතැනම දුවනවා.

මම කෝකටත් කියල එතනින් ටිකක් ඈත තියනවා කොරිඩෝවක් කෘතීම වැව උඩින් යන පාලමට.මම ඔය කොරිඩෝවට ගියා, 

මෙන්න එනවා දුවගෙන පාලම පැත්තේ ඉදං. අර කොරිඩෝවේ තියන හැම කඩේකම දෙන කොලයි, කෑම කඩවල මෙනු කොලයි ගොන්නක් අතේ.තවත් නැවතී නැවතී කඩ වල ඉස්සරහ ඉන්න පිලිපීන කෙල්ලෝ එක්ක චැට් එක දානවා එන ගමනුත්.අම්ම අප්පා ඉන්නවද මලාද නැහැ.

එක දැක්කම හිනා ගියත්, අල්ලගත්ත ගමන් උරහිසෙන් හොල්ලල ඇහුව කොහෙද ගියේ කියල.

දුන්න උත්තරේ ;

" සංසාරේ අප්පච්චි මට චිකන් ගුඩි කන්න ඕන" ( චිකන් ගුඩි කියන්නේ KFC එකේ පොප්කොර්න් එකට)

එකට කිසි ගානක් නැහැ.දෙන්නම් උබට චිකන් ගුඩි කියල ඇන්න ගියා මව් යාන‍ය ගාවට.

එක්ක ගිහින් මව්  යානයට බාරදුන්න නැත නම් මොනවායින් මොනවා වෙයිද නොදන්නා නිසා ඉන්න තත්වේ අනුව.අම්මගෙන් නම් ගුටි කෑවා ( මම අද වෙනකල් ගහල නෑ කොල්ලට, මට ගහන්න ඕන උනොත් ළමයාගේ අම්මට එක හත කරලා කියනවා හෙහ් හෙහ් හේ අම්මගෙන් කනවා එතකොට)

ඉතින් එදා‍යින් පස්සෙ තමා මම ජුනියර් එක්ක මොනවහරි ගන්න ඕනෑ උනත්  නොයන්නේ.එයා  එක්ක යනවා නම් බඩු මුට්ටු ගන්නේ නැහැ.

මෝල් එකේ පොලිස් පොස්ට් එකට ගිහින් ළමය ලැබුන කියල ඉන්ෆොර්ම් කරලා ගෙදර ආවේ. . .

ප.ලි: දේශකයගෙ පොස්ට් එක නිසා ලීවෙ.

Friday, 14 June 2013

ඔන්න මස්සිනාල ...


පින්තුරේ ගත්තේ:www.sodahead.com -

කොල්ලෙකුට බැන්දට පස්සේ හොද මස්සිනාල ටිකක් හම්බවෙන එක වාසනාවක්.හොදට බොන්න ඒවරේඩි,අයිය මල්ලි නැතුව මචං කියල කතා කරන්න පුළුවන් සෙට් එකක් හම්බ වෙන එකේ ගතිය දන්නේ එහෙම හම්බ උණු උන් විතරයි.

ඒ වගේම කොච්චර හොදට සෙට් උනත් පිස්සු නටන එකෙක් හම්බ උනොත් ...

අපේ අම්මටයි අප්පචිටයි ඉන්නේ එක කොල්ලයි කෙල්ලො දෙන්නයි.ඉතින් මට පිරිමි සහෝදරයෝ හිටියේ නෑ.අපේ අක්ක හොයාගත්ත එකා හොදයි.හැබැයි ඌ ටිකක් සම්මත ආකාරයේ පොරක්.සෙට් වෙන්නේ නෑ. නංගි බැඳපු එකා මට වඩා වැඩිමල් අවුරුද්දක්.ඌට අයිය කියන්න ඕන.ඌ අයිය වගේ ඉන්නේ.ඒකත් කේස්.ඉතින් මට අපේ පවුලේ මස්සිනාල දෙන්නම සෙට් වෙන්නේ මස්සිනාල නිසා පමණයි.ආතල් නෑ.

අපේ බිරින්දෑගේ පවුලේ අයියල 3 යි, අක්කල 2යි, මල්ලිලා 1යි. ඔය මස්සිනාල 3න් දෙනා එක්ක ඕන දෙයක් කතා කරන්න පුළුවන්.ලංකාවේ ඉන්න අක්ක බැඳපු අයියත් ඒ වගේ,යාලුවෝ වගේ ආශ්‍රය කරන්න පුළුවන්.බොන්න ගියාම උන් එක්ක බොන්න බෑ.අපිට ලැජ්ජයි.උන් කොච්චර බිව්වත් වෙරි නෑ.ඉතින් බොන්න ගේනකොට කේස් පිටින් ගේන්නේ.අපරාදේ කියන්න බෑ උන් ඔක්කොම මරු.ඒ වගේම තමයි මට නිවාඩු යනකොට ලොකුම ගානක් වියදම් වෙන්නේ බීම වලට.

ඔතන එක අක්ක කෙනෙක්  සහ ඒ පවුලේ උදවිය මම තවම හැබැහින් දැකල නැහැ ඔන්න කිව්වට පිළිගන්න.පවුලේ ලොකුම කෙනා තමයි එයා.එයා ලංකාවට එනකොට මම මෙහේ.

ඔතන ඉන්න මල්ලි ගැන තමා මේ අද කියන්න යන්නේ.මිනිහ පොඩි කාලෙම අනිත් සහෝදරයෝ රැකියාවල් කරනවා.එක නිසා අනිත් අයට තිබුන අඩු පාඩුකම් මෙයාට අහු උනේ නෑ.හැමෝම ආදරෙයි.වැරද්දක් කලත් බනින්නේ නැහැ.ඕක මෙයාට නරකට හිටිය.කොළඹ ප්‍රසිද්දම පාසලට ගියත් ඉගෙන ගත්තේ නැහැ.

පවුලේ යුතුකම නිසා ලොකු අයිය නුවරඑළියේ පොඩි හෝටලයක් කුලියට අරගෙන බාර දුන්න.මාස 5ක් විතර යනකොට අල්ලපු හෝටලෙන් කෑම අරගෙන මෙයාගේ හෝටලේ නවාතැන් ගත්ත අයට කෑම සපයන්න තරම් දියුණු උනා.ලොකු අයියගේ බැංකු පොත හින්දල මිනිහ හෝටලේ වහල දැම්ම.ඔය ලොකු අයියට ටිකක් සල්ලි තියන නිසා පාඩුව දරා ගන්න පුළුවන් උනා. 

ඊ ලඟට පොඩි අයිය ඩිමෝ බට්ට ලොරියක් ෆිනෑන්ස් දාල අරගෙන දුන්න.මිනිහ නුවර එළියේ ගිහින් එළවලු අරගෙන ඇවිත් විකුනන්න කියල තමයි ගත්තේ.හැබැයි එළවලු කෙසේ වෙතත් නුවර එළියෙන් කසාදයක් නම් මිනිහ කරගත්ත.එකටත් සියලුම අනුග්‍රහය පවුලේ සැම.අනේ අර ෆිනෑන්ස් එක පොඩි අයිය ඒ බැඳපු අක්කත් එක්ක එකතු වෙලා කොහොම හරි ගෙව්වා.දැන් මූ ඉස්සරහ දොරෙන් එනකොට පොඩි අයිය පස්ස දොරෙන් යනවා දැක්කොත් කලිසමත් නැති වෙයි කියල.

දැන් මම මෙහෙ ආවට පස්සේ මට මිනිහ කිවා, කොහොම හරි මාවත් ඔහාට ගන්න කියල.මමත් බැඳපු අලුතනේ ලකුණු දා ගන්න ගොනා උනා.සියලු අනුග්‍රහය කරලා මෙහාට අරගෙන රැකියාවක් හොයල දුන්න.

එදා ඉඳන් මම මූ ගැන බලන්න ඕන.හැම මාසෙකටම සැරයක් බිල මොනවා හරි කර ගන්නවා.දැන් අවුරුදු 3ක් තිස්සේ.අදත් වැටිලා ඔලුව පලාගෙන.ඉස්පිරිතාලේ ගිහින් බෙහෙත් දාල කන්න බොන්න හදල තියල මම දැනුයි ආවේ.

ගිය පාර රැකියා කොන්ත්‍රත් එක ඉවර උනාම මම කිව අයින් වෙන්න එපා.ඔකේ තව ටිකක් ඉන්න කියල.ඇහුවේ නැහැ.අයින් වෙලා ගියා.ලංකාවේ ව්‍යාපාරයක් කරන්න කියල.ගිහින් මාස 3ක් යනකොට අරගෙන ගිය සල්ලි ඉවරයි.

ආපහු මම ගෙනත් රැකියාවක් හොයල දැම්ම ලංකාවේ නිකන් ගෙදර ඉඳල කාලේ කන නිසා.දැන් පොඩි දුවෙකුත් ඉන්නවා.මට තේරෙන්නේ නැහැ මොකද කරන්නේ කියල.ඕන දෙයක් කර ගනින් කියල අතඇරලා දාන්න කියල හිතුනත්, කොහොමද කරන්නේ.අනිත් සහෝදරයෝ හැමෝම හොදින් ඉන්නවා.දෙන්නෙක් පිට පදිංචිය.මේකට මොනවා උනාද ????.කොල්ලෙක් විදියට හොදයි.මට වඩා අවුරුද්දයි වයස අඩු.නමුත් මටත් කරන්න පුළුවන් සීමාවක් තියනවා නේ.මේකාගේ අක්ක වෙච්චි මගේ ගෙදර උන්දැට කිවම තව ටිකක් බලන්නලු ..................................

ඔය වෙලාවට තමා හිතෙන්නේ මාමණ්ඩි මේකව හැදුවට වඩා හොදයි _______________ නම් කියල ........



Thursday, 6 June 2013

ආතල් රැයක්...

අද දවසින් බාගයක්ම නිදි.අද නිවාඩු දවස නිසා ඊයේ කල වැඩේ අද දවසින් බාගයක්ම අඳුරු උනා.යාලුවෝ ටිකක් එකතු වෙනවා කියල පණිවිඩය ආවේ මමත් පොඩ්ඩක් අනුමත වෙන්න පටගන්න කොටමයි.ඒ වැඩේ පැත්තකින් තියල මමත් මම ගෙනපු බෝතලයයි ග්‍රිල් කරපු කුකුලෙකුත් කඩෙන් අරන් යන්න පිටත් උනා.යනකොට සාජා තියන ඔක්කොම වාහන පාරේද කොහෙද.හිමින් හිමින් ඇදී ඇදී මම යනකොට මුන්  වැඩේ පටන්ගෙන.

පින්තුරේ ගත්තේ:eujeenbevermix.blogspot.com
මමත් වාඩි වෙලා පටන් ගත්ත.ඇලුමිනියම් බෝතලේක දාපු වොඩ්ක එකක් තිබ්බ මම කලින් දැකල නැති එකක්. ඒක නිසා ටිකක් වෙලා යනකොට අනිත් උන් ඒක මා ගාවින් තියන්න කටයුතු කළා. විහිලු වලින්  ආතල් කතා වලින් පටන්ගෙන,අතීත කතා ටිකක් කතා කරලා ලංකාවේ දේශපාලනේ කතා කරන්න ගන්නකොට මගේ ඇලුමිනියම් වොඩ්ක එක ඉවර වෙලා.ඒ කියන්නේ ඔය දේශපාලන කතා බහ මට ඒ තරම් නිච්චි නෑ.රෑ එකට විතර ඇති මගේ හිතේ.බෝතල් ඉවර උනේ නැති උනත් අනිත් උන්ටත් වැඩි වේගෙන ආව නිසා නොබී හිටපු එකෙක් වැඩේ ඉවර කරන්න යෝජනා කලා.

ඔලුව කැරකෙන ගතිය ටිකක් වැඩි වෙලා තිබුන.මට එහා පැත්තේ වාඩි වෙලා උන් එකා කබරයෙක් අත අරිය. ඒක දැකපු මටත් දැම්මනම් හොදයි වගේ හිතුන.කව්ද එකෙක් මාව එක්කන් ගිහින් බැල්කනි එකේ පුටුවක් තියල වාඩි කළා.වාඩි කරලා ෂොපින් බෑග් එකක් දුන්න දාපන් කියල.මමත් බෑග් එක ඇරල ඒකෙ කට දිහා බලල එක පාරක් දැම්ම.... දාල බැලුව හරියට උනාද කියල, බලනකොට බිම.දෙවැනි පාරනම් හරියට වැඩේ කරනවා කියල හිතල අපහු ට්‍රයි කළා.බෑග් එකේ කටේ ගෑවීලා ගිහින් තිබුනට ඒ පාරත් මිස් වෙලා.බෑග් එකට කබරයා දාන එක අමාරු වැඩක් කව්රු කිවත් මේ වෙලාවට.ඒක නිසා බෑග් එක පැත්තකට කරලා බිමටම දැම්ම.කබරයා දැම්මම නම් හොද සනීපයක් ආව.

නානා ප්‍රකාර වැඩ අවට වෙනවා දැක්ක.එකෙක් නාන කාමරේ නිදි වගේ දැක්කේ.තව එකෙක් උගෙ ඔලුව අල්ලාගෙන. මම එහෙම්ම ගිහින් තිබිච්ච ඇදකට වැටිලා ටිකක් වෙලා හිටිය වගේ දැනුනේ.නැගිටලා බලනකොට චමරියේ නොබොන එකම එකා බිම හෝදනවා.වෙලාව පාන්දර 2යි.මම හිතුව දැන් යන්න ඕන කියල.හැමෝම එපා කියනවා.බනිනවා.මම යන්නම ඕන කියල පරසක්වල ගැහුවා.මූනට වතුර ටිකක් ගහ ගෙන මම එලියට ආව.

එනකොට මට වැඩිය වෙරි තිබ්බේ නෑ,හැබැයි මඟක් එනකොට නං වැඩි වෙන බවක් දැනුන.කොහොම හරි වැඩි වේගයක් ගන්නේ නැතුව ශේප් එකේ ප්‍රදාන පාරට දාගත්ත.උපරිම විනාඩි 15  - 20 වෙනකොට යන්න ඇහැකි රෑට වාහන අඩු නිසා.

පින්තුරේ ගත්තේ:www.emirates247.com
ඔය පාර හදනව මේ දවස් වල.ඒක නිසා එහාට මෙහාට පාර හරවල තියන්නේ.දැන් නම් හොදටම තව කබරයෙක් දාන්නම ඕන.මම පාර අයිනේ නතර කළා.නතර කරලා දැම්ම බඩ බොකු එලියට එන්න.කට හෝදගෙන ආපහු පටන් ගත්ත ගමන.කබරයා දැම්මම වෙරි වැඩි උනා වගේ.යන්න අමාරු ගතියක් ආවත් දැන් යන්නම වෙනවා.මොකද මෙතන නතර කරලා ඉඳල පොලිසියට අහු උනොත් ලොකු නඩුවක්.

ඒක නිසා පළවැනි ධාවන පථයේ හිමිට එන්න ආව හැබැයි වෙනද පහු වෙන වට පිටාව නෙමේ වගේ.කෝකටත් කියල සාජා කියල දැක්ක පළවැනි බෝර්ඩ් එකෙන් හරවා ගත්ත.හරවාගෙන එනකොට මේ මම ඉන්න පළාත නෙමේ.තේරෙන්නේ නෑ කොහෙද කියල.කොහොම හැරී පැය භාගයක් වගේ දැන් මෙහේ කැරකුනා.එකම පාරේ දෙපැත්තට යනව කියල තේරුම් ගන්නත් ගොඩක් වෙලා ගියා.කොච්චර දැම්මත් ආපහු කබරයෙක් එනව.දැන් නම් මම හොදටම හැක් වෙලා.අරුන් කිව විදියට ඉඳල ආව නම් හොදයි කියල හිතුන දැන් නම්.

කොහොම හරී ටැක්සි කාරයෙක්ගෙන් ඇහුවම මම ගෙදරට ගොඩාක් දුර ඇවිත්.ආපහු ප්‍රදාන පාරට යන විදිය අහගෙන මම එන්න ආව.ප්‍රදාන පාරට දාගත්තම ටිකක් හොදයි මොකද ටිකකින් ගෙදර යන්න පුළුවන් නිසා.ඒ වෙනකොට ඉක්මනට එන්න තියන ඕන කම නිසා ටිකක් වේගේ වැඩි උනා මයේහිතේ .ලොකු එලියක් එකපාරටම වැදුන.බලනකොට යන්න තියන ගානට වඩා 20ක් වැඩි. AED 600 ක් නැති උනේ ඒ විදියට.

ඔන්න ඔහොමයි මම ගෙදර ආවේ.වෙලාව උදේ 4යි.පැය එක හමාරක් බොරුවට ඇවිදලා.ආපු ගමන් කොම්පුටරේ දාල බලනකොට අටම ඉන්නවා ඔන්ලයින්.ඌ එක්ක වචන දෙකක් කතා කරලා නිදා ගත්ත.අද උදේට කෑවෙත් නැති නිසා නැගිටලා පරිප්පු හොද්දකුයි කරවල බැදුමකුයි හදල බත් ටිකකුත් කෑවා. 

අද දවසින් භාගයක්ම නිදි හරි නිදි මතේ හරි.නිවාඩුව අපරාදේ මස්තබාල්දු උනා.....හැබැයි මේ වගේ ආතල් එකක් ගත්තේ අවුරුදු එක හමාරකට පස්සේ. 



Saturday, 1 June 2013

තවත් මරු ඩයල් එකක් ...

මේකත් ඔය ක්‍රයිසිස් එකට ටිකක් කලින් සහ ඒ කාලේ කතාවක්.අපේ එක යාලුවෙක් උන්නා.ඔය අපි වගේ ආවට ගියාට වැඩ කරන කෙනෙක් නෙමේ මෙයා.බොහොම සංයමයෙන් හීන් නූලෙන් වැඩ කර ගන්න ඩයල් එකක්.ආර්ථික විද්‍යාව විශ්වාස කරන පුත්ගලයෙක්. ඉතින් අවශ්‍යම දේකට ඇරෙන්න පොඩි පොඩි වියදම් නෑ මිනිහගේ.ඇත්තටම ඔක්කොම නැතත් ගන්න දෙයක් තියනව ඒ ජිවන රටාවේ.අපි හිතනවට වඩා ලොකු ගානක් වියදම් වෙනවා ඔය පොඩි පොඩි ගණන් වලින්.ඒක ගැනත් පොඩ්ඩක් හිතල බලන්න මේ එක්කම.


පින්තුරේ ගත්තේ:http://blog.fluenthistorian.com/wp-content/uploads/2013/04/econ.jpg

ඔන්න මිනිහට ලොකු රැකියාවක් හම්බ උනා මෙහෙ සංවර්ධන කටයුතු නැගල ගිය කාලේ.නමුත් මිනිහ තමන්ගේ ජිවත් උන රටාව වෙනස් කලේ නෑ.හැමෝම ඇහුව "ඇයි බන් අලුත් වාහනයක් ගනින්කෝ මේ කබලේ යන්නේ නැතුව" කියල.මිනිහට තිබුනේ හෙන පරණ වාහනයක්.ඕක හැමදාම ලෙඩ.බොහොම පොඩි ගානකට අරගෙන කෑලි දාල මිනිහ ඕක හද හද පැද්ද.

ඔන්න ඔහොම යනකොට වාහන කොම්පනි වලින් මිනිසුන්ගේ සල්ලි ඇදල ගන්න ක්‍රමයක් විදියට අලුත් වාහනයක් ගන්නවා නම් මුලදී කියක් වත් ගෙවන්නේ නැතුව වාහනයක් අරගෙන යන්න පුළුවන් සහ පලවෙනි මාස 3ක් වාරික ගෙවන්න ඕනෙත් නැහැ කියල ඔෆර් එකක් දුන්න. 

ඉතින් මේ අපේ යාලුවත් කවදාවත් නැතිව ගත්ත අර රේන්ජ් රෝවර් කියන රථයක්.ඕක ලොකු ගානක් වෙනවා.සාමාන්‍ය කෙනෙකුට දරන්න අමාරුයි.හැමෝම අහනව ඇයි බන් ඔච්චර එකක් ගත්තේ කියල.මූ කියනව නෑ බන් පදිනවා නම් හොදම එකක් පදින්න ඕනය, නැත්නම් අර තිබුන එක හොදයි මට කියල.දැන් අපිට මේ අන්ත දෙක තේරෙන්නේ නෑ.කොහොම හරි ඔන්න මාස 2ක් විතර ගිය මූ තාමත් වාහනේ ඉටි කොළ ටිකවත් ගලවන්නේ නෑ.අහපුවම ඔහේ තිබිද්දෙන් බන් කියනවා.

පින්තුරේ ගත්තේ:dubaicity.olx.ae
පස්සේ ඔය ආර්ථික අවපාතය ආව.ඔය ඔෆර් ඔක්කොම නැති වෙලා ගියා.බැංකු වලින් දුන්න සල්ලි ආපහු  ගන්න මිනිස්සු පස්සේ එලවන්න ගත්ත.හැබැයි ඔය ලොකු ආයතන වල වැඩ කරන සමහර උදවිය මේ  තරම් ලොකුවට කෙසේ වෙතත් මොනවා හරි ප්‍රශ්නයක් ළඟ එන බව දැනගෙන උන්න.ඒ දැනගෙන තමා මෙයා මේක අරගෙන තියන්නේ.ඒකයි ඉටි කොළ ටිකවත් ගලවන්නේ නැතුව තියාගෙන හිටියේ ඕන වෙලාවක දාල යන්න බලාගෙන.

ඔය වාහනේ දැන් මස තුනක් සත පහක් ගෙවන්නේ නැතුව පැද්ද.දැන් ඔය අමාරු කාලේ මිනිහටත් රැකියාව ගැටළු ආව.තව මාස 3 කට පස්සේ මිනිහගේ රැකියාව නැති උනා.මොකද ඔය ආර්ථික අවපාතය මුල් කාලේ ලොකු වැටුප් අය මුලින්ම අයින් කළා. මිනිහ වාහනේ ලෝන් එක ගත්ත බැංකුව ගාව පාර්ක් කරලා ලංකාවට ගියා.

ඔන්න බලන්න දැන් මිනිහ ගන්න පුළුවන් හොදම වාහනයක් සමහර විට ආපහු කවදාවත් ජිවිතේ පදින්න බැරි වෙයි සත පහක් ගෙවන්නේ නැතුව මස 6ක් පැදලා.රැකියාව නැති උනා කියල අවූලක් නෑ මොකද වැඩි වියදම් නැතිව ගෙවපු නිසා මිනිහගේ අදායමෙන් 80%අඩුම ඉතිරි වුනා.මෙහෙම වැඩක් කරගෙන ගිය උදවියගෙන් මම දන්නා හොදම ඩයල් එකක් තමා ඔය.

එක නිසා ආර්ථික විද්‍යාව විශ්වාස කරලා වැඩ කරන එක කෝකටත් ඇගට ගුණයි.

ජොක්කු ටික හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ...

පින්තුරේ මෙතනින්:http://i.telegraph.co.uk/multimedia/archive/01714/identificationPara_1714199c.jpg
මේක මම ටික කාලෙකට කලින් හිටපු එක බෝඩිමක උණ දෙයක්.ඒ බෝඩිම ටිකක් ලොකු එකක් අපි ඔක්කොම 6 ක් වගේ හිටිය.ඒක කාමර 2ක ගෙයක්.අපේ කාමරේ තමා බැල්කනි එක තිබුනේ.ඕකට යන්න තල්ලු කරලා අරින දොරක් තිබුන.ඔය කාමරේ අපි තුන්දෙනෙක් උන්න.

බෝඩිමේ ඉන්නවා අයිය කෙනෙක්.අයිය කියන්නේ ටිකක් වැඩිමල් බෝඩිමේ ඔක්කොටම වඩා.ඉතින් අපි ටිකක් වැඩි සැලකිල්ලක් දක්වනවා උන්දැට.මේ අයිය බොහොම දහමට ලැදි තැන්පත් සම්මත ආකාරයේ අයිය කෙනෙක්. වැඩිය විහිලු කරන්නේ නෑ, හිනා වෙන්නේ නෑ එක විදියක්.

ඉතින් ඔය කාමරේ බැල්කනි එකේ දොර ගාව තමා අයිය තොර ගත්තේ එයාගේ ඇද තියා ගන්න.අපි අනික් දෙන්න දෙපැත්තේ බිත්ති දෙකට හේත්තු වෙන්න ඇදවල් තියාගත්තේ.

හැබැයි ඔය අයියගේ ජිවන රටාව ටිකක් අනික් අයට කරදරයි.ඒ උනත් හැමෝම ඉවසගෙන ඉන්නවා මොනවත් කියන්නේ නෑ වැඩිමල් කෙනෙක් නිසා.අනික අපි වගේ නෙමේ ටිකක් සීරියස් ඩයල් එකක් නිසා අපි කිසිම විහිළුවක් කරන්න යන්නේ නෑ.

ඉතින් මේ අයිය පිලිවෙලට වැඩ.කෑම උයන්න ගියාම එක වෙනම ව්‍යාපෘතියක්.ඉතින් අපිට කුස්සියට යන්නවත් අමාරුයි ඔය වෙලාවට.ඒ වගේමයි රෙදි හෝදන්න ගියාම.හෝදන වෙලාව තමයි අපි වැඩ ඇරිලා ගෙදර එන වෙලාව.ඉතින් හිතින් ගීතිකා ගය ගයා අයිය එලියට එනකල් ඉන්න ඕන.සමහර දවස් වලට උදේ පාන්දර, අපි වැඩට යන්න ඕන නේද කියලාවත් ගානක් නැහැ.

අපේ කාමරේ ඔය බැල්කනියට යන දොර දිගට අයිය ලනුවක් දාල රැදී වැලක් බැදල තිබ්බ.තව ඔය දොරේ බැල්කනියට යන්න තියන පැත්තේ බිත්තියේ ඇනයක් ගහල එකෙත් රෙදි එල්ලලා තිබ්බ. ඉතින් ඕක හැමෝටම අප්සට් වැඩක් උනාට අයියට අනිත් අයගේ අප්සට් තේරෙන්නේ නැති ලෙඩක් තිබුන.අර අපි කියන්නේ නාඩි නෑ කියල.මේ අයියට නාඩි ඇත්තෙම නෑ.

දැන් මේ අයිය වැඩ ඉවර වෙලා ආවම, ජොකා ගලවල ඔය දොර ගාව ඇනේ එල්ලනවා.කාට හරි බැල්කනියට යන්න ඕන නම් අයියගේ ජොකා මුනේ අතුල්ලගෙන ඉබල යන්න ඕන.ඕක දැන් වක්‍ක්‍රාකාරයෙන් කීප සැරයක් දැනුම් දුන්න .වැඩේ තියන්නේ මේ අයියට නාඩි නෑනේ.තේරෙන්නේ නෑ.

දවසක් මගේ කාමරේ ඉන්න එකාට තද වෙලා ඔය ජොකා අරගෙන බැල්කනියෙන් එලියට විසි කළා. ඊට පස්සේ දවසක් අපි ඔක්කොම ඉන්න තැන මිනිහ අහනවා මගේ එක යට ඇදුමක් නැති වෙලා.කාට හරි මාරු වෙලාද  දන්නේ නෑ පොඩ්ඩක් බලන්න කියල.ඒක කිව විදියට හරියට මහා ලොකු වටිනා දෙයක් නැති වෙලා වගේ.මමයි මගේ කාමරේ එකාටයි ඇර ඔක්කොටම අප්සට් .වෙන මොකටවත් නෙමේ ඇත්තටම මාරු වෙලා නම් මේකාගේ මේක දවසක් වත් ඇදලද දන්නෑ කියල.

හැමෝම බලන්නම් කියල ශේප් එකේ තමන්ගේ සෙට් එක චෙක් කරලා බලනවා.දැන් මමයි මගේ කාමරේ එකයි දන්නවා මාරු වෙලා නැති බව.එත් අපිත් ගිහින් බැලුව මුනිච්චාවට.

දැන් අයියට සුවර් නෑ.අයිය හැම කෙනාගේම ජෝක්කු ගාවට ගිහින් අතගාල බලනවා එයාගේද කියල.අපිට මේක මහා විහිලු වැඩක් උනා.මමයි මගේ කාමරේ එකයි අපේ ජෝක්කු ටික ඇදේ පෝලිමට තියල අයියට ඇවිත් අදුන ගන්න කිවා.අයිය ඇවිත් බලල ඒවා නෙමේ කියල ගියා.

ඔන්න ඔහොමයි අපි ජෝක්කු හදුනාගැනීමේ පෙරෙට්ටුවකට තිබ්බේ.



Thursday, 30 May 2013

ක්‍රියිසිස් කාලේ ගොඩ දැම්ම හැටි ...

පින්තුරේ මෙතනින්:learner-centeredhistory.wikispaces.com

මේක අර ක්‍රයිසිස්  එක මෙහෙට ආපු කාලේ කතාවක්.ඕක ආවට පස්සේ ආයතන වැඩ කරන ජනතාවගේ  පඩි  අඩු කරගෙන ගියා (කව්රුත් වැඩ වැරුවේ නෑ හැබැයි).ඒ විතරක් නෙමේ ඉන්න අයත් අයින් කරන්න පටන් ගත්තා.කිසි කෙනෙකුගේ රැකියාව පහුවදා වෙනකල් විශ්වාස නැති මහා නරුම කාලයක් උදා උනා. 

මම මෙහෙට ආවේ නොදන්නා රැකියාවක් කරන්නනේ.හැබැයි ඒක මම ඉගෙන ගත්ත විෂය ක්ෂේත්‍රයට අදාලයි.ඒ උනත්  ඔය පඩි ප්‍රස්නේ නිසා ඉගෙන ගත්ත විෂය ක්ෂේත්‍රයත් මාරු කරන්න උනා මට.

අපේ ආයතනයේ හිටපු විශාල ප්‍රමාණයක් අයින් කළා.මම බේරුනත් ආයතනයේ මාස තුනක පඩි පරක්කුවක් තිබ්බ.ඔය කාලේ මගේ බිරින්දෑට පුතා හම්බ වෙන්න ඉන්න කාලේ.පඩි නෑ මාස තුනක් පළමු පාරට.අතේ තිබ්බ නය පත් වලින් අරගෙන ඒ කාලේ ගෙව්වා.දෙවැනි මාසේ වියදමයි ණය පතේ පොලියයි ගෙවන්න ආපහු ණය පතින්ම සල්ලි ගන්නවා.ඊ.ටී.සී.දැන් තේරෙනවනේ ණය පතේ අයිස් බෝලයක් හැදෙනවා නේද. 

දැන් මෙහෙම යන්න බැරි නිසා මම හිතුව අලුත් රැකියාවක් හොයන්න ඕන කියල.හිතුවට මේක කරන්න ලේසි වැඩක් නෙමේ.හැම ආයතනයේම තමන්ගේ සේවකයන් අයින් කර කර යන කාලේ.මම හිතුව මාස 6ක් හරි එක දිගට පඩියක් ලැබෙන තැනකට යන්න ඕන කියල.

මම මගේ අයදුම්පත හදල.වෙනම ඊමේල් එකක් හදල.පොතක් තියාගෙන දාන දාන ආයතනයේ නම ලියල, දාපු දවස සදහනක් කරගෙන යනවා. නෙට් එකෙන් මෙහෙ තියන හැම ආයතනකම වෙබ් අඩවි වලට ගිහින් එකේ ඉන්න ලොක්කන්ගේ නම් හොයාගෙන උන්ගේ පුත්ගලික ඊමේල් වලටම මගේ අයදුම්පත දානවා.ඔහොම මම පන්සීය ගානකට දාල තියනව.

ඇමතුම් ආවේ දෙකයි!!!!

ඒ දෙකත් මගේ ක්ෂේත්‍රයේ වැඩ නෙමේ.මම වැඩ කල ක්ෂේත්‍රයට ඔය කාලේ වැඩ අඩුයි.හැබැයි අනිත් ක්ෂේත්‍රයට රැකියා තවම පොඩ්ඩක් එහෙන් මෙහෙන් තියන බවක් ඕකෙන් තේරුණා.
ඉතින් ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවනේ.මමත් තීරණයක් ගත්ත.ඇත්ත ටිකක් නමන්න වෙනවා මේ වෙලාවේ ජිවිතේ ගැට ගහ ගන්න.

දැන් කවදාවත් අයදුම්පතේ බොරු ලියන්න හොද නෑනේ.ඉතින් ඇත්තම ලිව.හැබැයි ක්ෂේත්‍රය සදහන් කලේ නෑ.ඇහුවොත් කියනව නැත්නම් සහතික බලනකොට තේරුම් ගන්න කියල ඉඩ තිබ්බ.

ඔය ක්ෂේත්‍රයේ මගේ රැකියාව කරන කෙනෙක් අල්ලාගෙන කරන්න තියන වැඩ ටික අහගත්තා.මුලික වැඩ දෙකේම එකයි හැබැයි තාක්ෂණික කටයුතු සම්පුර්ණයෙන් වෙනස්.මම කවදාවත් මේ ක්ෂේත්‍රයේ වැඩක් කරලා නෑ.

ඕන කරන මුලික වචන සහ ක්‍රියාකරකම් ටික නෙට් එකෙන් හොයාගෙන ගොඩ දැම්ම.දැන් මේ කාලේ තියන වැඩ තමා බාගෙට නවත්තපු වැඩ,එහෙම නැත්නම් ඉවර වෙලා/අල වෙලා /චා වෙච්ච කුණු ගොඩවල්.ඒ කියන්නේ මට ඕන කරන්නේ බාගෙට ගිය වැඩක් ගොඩ දාන්න තමයි.ඒ වැඩ වලට ඕන කරන කොටස් ටික විතරක් යාලුවන්ගෙන් අහ ගත්ත.

ඔය වැඩ ටික කරලා අපහු අයදුම්පත් දාන්න පටන් ගත්ත.දෙවැනි පාර දෙසීයක් විතර දාල තියනවා.ඔන්න මාස දෙකකට පස්සේ එක තැනකින් ඇමතුමක් ආව.ඉන්ටර්විව් එකට දිනයක් වෙලාවක් කතා කර ගත්ත. මොන ක්ෂේත්‍රයේද ඇහුවෙත් නෑ.මම කීවෙත් නෑ.

ඉන්ටර්විව් එකට ගියාම ඒක  ඉවර උන  ව්‍යාපෘතියක්.අර මම කිවත් වගේ අල වෙලා /චා වෙච්ච කුණු ගොඩක්.දැන් මගෙන් ප්‍රශ්න අහනවා.ගොඩක් ඒවා තාක්ෂණික දේවල් නෙමේ.අනික් විෂය කරුණු ටිකට අව්ලක් නැතුව උත්තර දී ගත්ත.මොකද ඌ හිතාගෙන ඉන්නේ මම තාක්ෂණික දේවල් ටික දන්නා නිසා අහන්න දෙයක් නෑ කියල.මේක තමා මම බලාපොරොතු උන විදිය. මිනිහට ටිකක් හදිස්සි මේ වැඩේ.ඔය අතර ප්‍රශ්න එකක් දෙකක් ඇහුව ඔක්කොම ලොකු බැරෑරුම් දේවල් නෙමේ සාමාන්‍යමේ  විෂය කරුණු දන්න කෙනෙක්ට ගොඩ දා ගන්න පුළුවන් ඒවා.

මිනිහ මාව තෝර ගත්ත.කව්රුත් දන්නේ නෑ මම වෙන ක්ෂේත්‍රයක කියල.ඉතින් අර ඉගෙන ගත්ත වචන ටිකයි නෙට් එකටයි පින් සිද්ද වෙන්න වැඩේ කරගෙන යනවා.

එක දවසක් ඔතන වැඩ කරන ප්‍රදාන ඉංජිනේරු තමා ඇවිත් මට චිත්‍ර මහා ගොඩක් දීල කීවා මේ ටික මැනල වැඩ බිමේ හදල තියන මිනුම් හරියට තියනවද බලන්න කියල.

දැන් ඔය චිත්‍ර ටිකේ ගෙවල් දෙසිය පනහක සියලුම වැඩ මනින්න ඕන.චිත්‍ර සෙට් දෙකක්...පරණ එකයි අලුත් එකයි... වැඩ බිමට ගිහින් හදපු ගෙවල් වල ඔය බඩු ඒ ගානම තියේද මනින්නත් ඕන.

මුලික දේවල් ටික විතරක් දැනගෙන මේ වැඩේ ගොඩ දාන්න බැරි බව දැන්නම් හොදටම පැහැදිලි.

දැන් මේක කරන්න බැරි උනොත් ආපහු රැකියාවක් හොයා ගන්නවා කියන්නේ මේ කාලේ, ඊට හොදයි වහ කාලේ කැලේ රිංගන එක...

ඔහොම තෝන්තු වෙවී ඉන්නකොට මට අලුත් අදහසක් ආව.ඒකට ඕන කරන උදවිය මේ කාලේ ලේසියෙන් හොයා ගන්න පුළුවන් කියලත් තේරුණා.දැන් තියෙන්නේ කාටවත් නෝන්ඩි වෙන්නේ නැතිව වැඩේ ගෙනියන එකයි.

දැන් ඔය ව්‍යාපෘතිය ඉවර වෙලා තියන එකක් නිසා,කොන්තරක් කාරයාගේ කාර්යාලයේ හිටියේ තුන් දෙනයි.මමයි කළමනාකරුයි අනික තමා ප්‍රදාන ඉංජිනේරු තුමා.මාව අරගෙන තියන්නේ කරපු වැඩ ටික ආපහු මැනල අඩු පාඩු සල්ලි ටික ගන්න.

ඔය කාලේ රැකියා නැති වෙලා ගොඩක් අය නිකන් ඉන්නවනේ.මම පත්තරේ දැන්වීමක් දැම්ම චිත්‍ර මනින්න වැඩක් තියනවය.කැමති කෙනෙක් කතා කරන්නය කියල.හිතුව වගේම 5 දෙනෙක් කතා කළා.ඒ අය අතුරින් අඩුම මිල ගණන් බලල මම මෙහෙ සල්ලි වලින් AED 2500.00 දෙන්නම් කියල චිත්‍ර ටික මැන ගත්ත.ඔය වැඩේට මාසෙකට වඩා ගියා.

ඉතින් දැන් අරූ චිත්‍ර ටික මනින කල් මම චිත්‍ර මනිනවා කියල පේන්න ඕව දිග අරගෙන කාලේ කනවා.මාසයක් කාලේ කන එකත් ලේසි වැඩක් නෙමේනේ.අනික මට ඔය වෙලාවේ අනිත් වැඩක් කරන්නත් බෑ.මොකද මේ ක්‍රයිසිස් දවස්වල කව්රුත් වැඩ කලේ සම්මතයකට.එක පාරකට කරන්නේ එක වැඩයි.ඒකත් කරන්නේ පුළුවන් තරම් කාලේ අරගෙන.මොකද ඉක්මනට වැඩ ඉවර උනොත් ඉක්මනට රැකියාවල් හොයන්න වෙනවා.

දැන් මට තියන්නේ,ඔය මැනපු චිත්‍ර ටික පාඩම් කර ගන්න.චිත්‍ර පාඩම් කරන්නේ මෙහෙමයි: අරක කොහෙද තියෙන්නේ, මේක තියෙන්නේ කොහෙද, මේක කලින්ට වඩා ලොකුද, නැත්නම් පොඩිද , මේක අලුත් කෑල්ලක්ද, ඔය වගේ ඇනලයිස් පාරක් හදාගෙන, අහන්න ඉඩ තියන ප්‍රශ්න වලට උත්තර හොයල තියා ගන්න එක තමයි චිත්‍ර පාඩම් කරනවා කියන්නේ.දන්නේ නැති දෙයක් ඇහුවොත් අර ඉංගිරිස් වචන තුන දැම්මකි.

දැන් හරි වැඩේ ගොඩක් දුරට.දැන් තියන්නේ වැඩ බිමේ කේස් එක.ඔය ගෙවල් දෙසිය පනහ කොටස් හතරකට තියන්නේ.ඒ කියන්නේ ගෙවල් වර්ග හතරක්.දැන් ඔය චිත්‍ර මනිපු එකා අපේ ලංකාවේ හාදයෙක්.මම මිනිහට කීව මේ ගෙවල් වර්ග හතරේ මනින්න තියන කෑලි ටික කියා දෙන්න කියල,ඒකට සල්ලි දෙන්නම් කීවා.මිනිහත් සතියක් විතර වැඩ බිමට ඇවිත් මගේ මල්ලි කෙනෙක් විදිහට කාර්යාලයට අදුන්නලා දිල වැඩේ කියා දුන්න.එකට තව AED  1000.00 ක් දුන්න.මට පාඩු නෑනේ රැකියාව බේර ගන්නනේ ඕන.

දැන් ඔක්කොම හරි.දැන් තියන්නේ වැඩේ පුලුවන් තරම් අදින්නයි.මොකද ඉක්මනට ඉවර කරලා දුන්නොත් ඒ තරම්ම ඉක්මනට යන්න වෙන නිසා මාස 6ක් ඇද්ද.අනික ඇත්තටම අවරුදු 3ක පරණ විස්තර හොයල කියවල ලියුම් ලියන්න,ගණන් හදන්න කාලයක් යනවනේ.මම අසාදාරන විදියට කාලේ ගත්තේ නෑ.හැබැයි එක පාරකට කලේ එක වැඩයි.ලියුම් 3ක් ලියන්න විස්තර හොයන්න තියන්නේ එකම ෆයිල් එකක නම්, එක ලියුමක් ලියල ෆයිල් එක ගිහින් තියල දෙවැනි ලියුම ලියන්න ආපහු ඒ ෆයිල් එක අරගෙන ඇවිත් මුල ඉදන් කියවනවා. (රෙකොර්ඩ් කාමරේට යන්න විනාඩි 10 විතර යනවා උනත් පළවැනි ලියුම ලියල ෆයිල් එක ගිහින් තියල එනවා).

ඔය රැකියාව මාස දහයක් කලා.ඊට පස්සේ තමා වෙන රැකියාවකට යන්න හම්බ උනේ.හැබැයි බොරුවට හරි මේක කල නිසා මට අලුත් ක්ෂේත්‍රයේ වැඩ ගැන හොද අවබෝදයක් ආව.

ඉතින් ඔන්න ඔහොමයි අමාරු කාලේ  ජිවිතේ ගැට ගහ ගන්න, බොරු නොව්නත් ඇත්ත ටිකක් විතර නමන්න වෙනවා.ආයතනයට ඕන දේත් ලැබුන මට ඕන දේත් කර ගන්න ලැබුනානේ..






Monday, 27 May 2013

වටිනාම ඉංගිරිස් වචන තුන "ලෙට් මී චෙක්" . . .

මම කලින් පොස්ට් එකක කීවනේ මගේ බොස් ගැන සහ නොදන්නා රැකියාවක් කරන්න ආව කියල.මගේ බොසා කියල තිබ්බේ කාටවත් කියන්න එපා කියල කලින් මේ රැකියාව කරලා නෑ කියල.මොකද කියන එක ඒ වෙලාවේ තේරුනේ නැතත් පස්සේ තේරුන විදියට මට ගෙවපු ගාන වගේ 3 ගුණයක් මුන් ගන්නවා ව්‍යාපෘතියෙන්.ඉතින් මම වගේ එන්ට්‍රි ලෙවෙල් කෙනෙක් අරගෙන වැඩ ටික කර ගත්තම ලොකු ගානක් ලාබයිනේ.මටත් ඉතින් වැඩ ටික ඉගෙන ගන්න පුළුවන් අනික ඒ දවස්වල හැටියට පඩියත් හොදයි. ඉතින් මම කාටවත් කිවේ නෑ.

හැබැයි ඕක පොඩි අව්ලක් වෙන වෙලාවල් ආව.දැන් ව්‍යපෘති වලට ගියාම වැඩ කරන්න වෙන්නේ මගේ බොසා එක්ක නෙමේනේ,ඒ ඒ ව්‍යාපෘතිය බාරව ඉන්න කළමනාකරු/උපදේශක වරු එක්කනේ. තාක්ෂණික ගැටළු ප්‍රශ්නයක් නෑ.අනික්වා තමා අව්ල. දැන් මම ඕවට ගියාම උන් හිතාගෙන ඉන්නේ මේ රැකියාව කලින් කරලා තියනව කියල.ඉතින් අර ටයිප් මිස් මැච් එරර් එක එනවා.

දැන් කොහොමද ඕක ගොඩ දාන්නේ.ලොකු ප්‍රශ්නයක්.වැඩේ තියන්නේ ඔය කියන දේවල් කරලා දුන්නහැකි තේරෙන්න කියනවා නම්.ඔය එක එක විෂයට තියනවානේ පාරිභාෂික වචන.දැන් ඕව දන්නේ ඔය විෂය හදාරපු කෙනෙක් හෝ රැකියාව කල කෙනෙක්. මම වැඩේ කරන්න දැන ගත්තට ඕකට කියන පාරිභාෂික වචන දන්නේ නෑ.රැස්විම් වලදී ප්‍රශ්න අහන්නේ ඔය වචන වලින්.

මුලදී බොසා මට කියල දීපු වැඩ ටික මම නියමටම කරගෙන ගියා. ඌටත් සැටිස්.හැබැයි බොසා ඉතින් එන එන විදියට ගහ උළුවස්සා ඩයල් එකක්.හැබැයි ඌ ගහන එක ගහනවා යේ අව්රුද්දක් ප්ලෑන් කල උන් බ්ලාස්ට් වෙන්න.හොද අත්දකිම් තියන පොරක්.

ඔන්න එක ව්‍යාපෘතියක,කාමර සීතල කරන පෙට්ටි වලට එනවානේ ඔය සීතල වතුර.ඔය සීතල වතුර එන්නේ ලොකු මැෂිමකින්.ඔය මැෂින් වලට ඉංගිරිස් වලින් කියන්නේ "chillers" කියල.ඕව ටිකක් ගණන් බඩු. ඉතින් මම ඔය මැෂින් 3ක් තෝරලා ගන්න යන මුදල ගණන් හදල ව්‍යාපෘතියේ අනුමත තත්ත්ව ටිකත් කොපි ගහල ආයතන 3 නකින් ගත්ත මිල ගණන් ටිකත් එක්ක ගිහින් උපදේශක කාර්යාලයට බාර දුන්න.

ඔය උපදේශක කාර්යාලේ කළමනාකරු ටිකක් එක විදිහක සුද්දෙක්.ඌ කතා කරන්නේ ඉංගිරිස් උනාට කතා කරන දේ තේරුම් ගන්න රෙකෝඩ් කරලා ආපහු දහ ගමනක් අහන්න ඕන.අයිරිෂ් ජාතික සුද්දෝ එක්ක වැඩ කල උන් දන්නවා. ඉතින් මට තේරෙන්නේ " ගහ ඉන්නවා, මිනිහ තියනව " වගේ. 
පින්තුරේ මෙතනින් : interviewpenguin.com 
දැන් ඔන්න මූකා එක එක ඕනෑ නැති ප්‍රශ්න අහන්න ගත්ත. ඔක්කොම පාරිභාෂික වචන.දැන් මම බ්ලාස්ට්.දැන් අහන්නද මුගෙන් " සර් දැන් කෙරෙන්න තියන වැඩේ සරලව කීවා නම් කරලා දෙන්න පුළුවන්" කියල.බැහැනේ.කල්පනා කලා කොහොමද ගැලවෙන්නේ කියල.

එක පාරටම මතක් උනා මගේ යාළුවා ඉස්සල්ලම රැකියාවට එනකොට කියල දිපු වචන 3ක්.

 මම ඔක්කොම අහගෙන ඉදල කීවා " ලෙට් මී චෙක් " කියල.

ඌ කතා කරන එක නැවත්තුව.ටිකක් වෙලා ඉදල මට කීවා."ඕ.කේ, අයි නීඩ් ටු  නෝ දීස් තින්ග්ස් බයි ටුමෝරෝ" කියල.

හෙට කියන්නේ මට කාලේ වැඩිත් එක්ක ඔය කියන ඒවා ටික නෙට් එකේ ගහල වචන ටිකයි වැඩෙයි ඉගෙන ගෙන ඕන කරන දේ කර ගන්න."දැන්" කියන එක තමා මගේ හතුරා...

එදා ඉදන් කව්රු හරි මගෙන් ඕන නැති ප්‍රශ්න අහන්න අවොත් මම ගාව තියන්නේ එකම එක ආයුදයයි           " ලෙට් මී චෙක් ".  මේක හෙන පවර්ෆුල්...


Tuesday, 14 May 2013

දුරු රට රැකියා සෙවීම

මමත් දුරු රටක රැකියාවක් හොයාගෙන ආවනේ.ඔන්න ආවට පස්සේ උන දේවල් වලින් කතා දෙක තුනක්.ටිකක් පරණ කතා, දැන් නම් හිනා වෙන්න හොදයි.ඉස්සෙල්ලම මම මගේ යාළුවා ඉන්න තැනට ආව.එක ලොකු විලා එකක කාමරයක්.ලංකාවේ කට්ටියක් තමා උන්නේ.තව රැකියාවල් හොයන්න ආව 6 දෙනෙක් විතර හිටියා.

බස් එකේ ගමන



Image From www.emirates247.com
ඔන්න එක දවසක් මගේ මිත්‍රය උදේ වැඩට යන්න කලින් මට සල්ලි දීල කිව, අද හවස පහ විතර වෙනකොට ටව්න් එකට වරෙන්ය, බස් එකේ යන්න පුරුදු වෙන්නත් එක්ක කියල.මේ වෙන කල් මම මෙහෙ බස් එකක ගිහින් තිබුනේ නෑ. කොටින්ම එලියට ගිහින් තිබුනේ ලග තියන කඩේට විතරයි. මම දැන් හවස ඇදගෙන සල්ලි අරගෙන ආව බස් නැවතුමට.ඒකේ තියනව බෝර්ඩ් එකක්.ඔකේ ලියල තියනව 41,48 බස් නම්බර් මෙතනින් යනවා කියල.මට මූ කීවෙ 41 නිසා ඒ එකක් එනකල් මම හිටිය.ඔන්න එකක් ආව.එක සෙනග පිරිලා එකට මාව ගත්තේ නෑ.

විනාඩි 15 වගේ යනකොට තව එකක් ආව.මට ඉස්සරහින් නගින්න කියල කියල තිබ්බ නිසා මම ගිහින් ඉස්සරහ දොරෙන් ඇතුලට ආව.රියදුරුට සල්ලි දීල කීව යන තැන.ඌ මට ටිකට් එක දීල අරාබි වලින් මොනවද කියනවා. මට තේරෙන්නේ නෑ.ඇතුලට යන්න කියල වෙන්න ඈති කියල යන්න ගියාම යන්න දෙන්නේ නෑ. දොර පෙන්නලා බහින්නලු.දැන් මගේ ඔලුව හොදටම අව්ල්.කියන දෙයක් තේරෙන්නේ නෑ.අනික සල්ලි ගන්නේ නැතිව ට්කට් එකක් දෙන්නේ නැතිව මෙහම උනා නම් මම බැහැල යනවා මොකද සෙනග වැඩි කියල හිතා ගන්න පුළුවන්නේ.දැන් ටිකට් එකකුත් දීල සල්ලිත් අරගෙන මට බහින්නලු.මිනිස්සුත් බලාගෙන ඉන්නව.මු අත පය විසි කර කර බහින්න කියල තමා කියන්නේ.

මම බැස්ස.බැහැල දැන් එකත් පසව ඉන්නවා.මූ කියනවා මොනවද මම දන්නේ නෑ ඇත දික් කරනවා බස් එක ඇතුලට.දැන් මම හිතනවා මූ මට මේ බනිනවා තමා.මම කරපු වරද්දකුත් නෑ.මෙච්චර සෙනග ඉද්දි නැග්ගේ ඇයි කියලද දන්නේ නෑ. ඔන්න ඔහොම. එහෙනම් මූ මොකටද ටිකට් එකක් දුන්නේ ??? මම දැන් හිතට හොදටම අව්ල්.බස් එක යන්නෙත් නෑ. මූ ටිකක් වෙලා ඉදල මට ආපහු නගින්නලු.අතින් කියනව ඇතුලට එන්න කියල.දැන් මට මේක තවත් තේරෙන්නේ නැතුව ගියා.( මම පස්සේ දන්නේ ඌ අරාබි විතරක් දන්නා ඊජිප්ට් එකෙක්).දැන් මූට මල හොද එකෙන් පැනල.

මම කල්පනා කරනවා යකො එක්කෝ පලකො දැන්.ඇයි මේ මාව අල්ලාගෙන ඉන්නේ? දැන් මටත් මල පැනල.දැන් මූ සීට් එකෙන් නැගිටලා ඇවිත් අතින් කියනවා නගින්න කියල. මේක දැන් ලොකු කේස්‌ එකක් , බස් එකේ මිනිස්සු බලාගෙන ඉන්නවා එකෙක්වත් මොනවත් කියන්නේ නෑ.එතන අරාබි දන්නා එකෙක් හරි ඉන්න ඇති එත් කතා කලේ නෑ. දැන් මම බස් එකේ නැගල යනවා මූ මගෙත් එක්ක අරාබි වලින් කතාව.මට ඇත්තටම අර කියන්නේ මානසික හිරි වැටෙනවා කියල ඒ වගේ කියන කිසි දෙයක් දැනෙන්නේ නැතුව ගිහින්.ඇත්තටම හරිම අපහසුතාවකට මම පත් උනා.

කොහොම හරි ගමන ඉවර වෙලා, මම බස් එක දිහා බලන්නේවත් නැතිව බැහැල ගියා.ගිහින් මාව මේ කරදරේ දාපු එකා එනකල් ඉන්නවා. මූ ආපු ගමන් මම ඇහුව "ඈ බන් මෙහෙ බස් වල ටිකට් අරගෙන බැහැල ඊලග බස් එකේ එන්න කියනවාද?? "... මාව මේ කරදරේ දාපු එකා කියන්නේ නම් මට පස්ස දොරෙන් නගින්න කියල කියන්න ඇතිලු.මට නම් එහෙම දෙයක් හිතුනේ නෑ...

පළවැනි ඉන්ටර්විව් එක( යන ගමන් ) 


Image Frowww.thenational.ae  
ඉතින් දැන් මම ආවේ මම ඉගෙන ගත්ත විෂයට බාහිර රැකියාවක් හොයා ගන්නනේ.යාළුවා කිවත් අමාරු නෑ කියල මට තිබුනේ ටිකක් බයක්.හිතේ හයියට ආවට මොකද, අවේ ලොකුම ලොකු අවදානමක් එක්කනේ.දැන් මුල් සතියේ මගේ යාළුවා මට චිත්‍ර මනින හැටි කියා දුන්න.ඌ කාර්යාලයේ කරන වැඩ ටික කරන විදිය කියා දුන්න.ඌ හරි හොද එකා.දැන් නම් මෙහෙ නෑ.ලංකාවේ හොදින් ඉන්නවා.අපි ඉස්සර ඌ එක්ක තමා පාඩම් කරන්නේ.එක දවසක් අපේ කැම්පස් එකේ ඉන්න තව පාඨමාලාවක් කරන පිරිසක් එක්ක පොඩි ගැටුමක් ඇති උනා.ඕක උනේ රෑ පාඩම් කරන කොට.ඉතින් දැන් කට්ටිය දෙපැත්තට වෙලා මරාගන්න ලැස්ති වෙනවා.අනිත් පාර්ශවයේ උන් ඉතිහාසය නැවත මතක් කරමින් ලී පොලු අරගෙන රෙඩි වෙලා.අපිට ලොකු දේවල් නෑ.ඉතින් මේ මගේ යාළුවාට හොද අදහසක් ආව.ඒ අනුව ඒ ලගම තිබුන අපේ බෝඩිමට ගිහින් ඇදවල් වල පොලු ටික ගලවාගෙන ආව.රෑ වෙනකොට කව්රුත් පාරම් බෑව විතරයි ගහ ගත්තේ නෑ.පොලිසියෙන් ඇවිත් පොලු ඔක්කොම අරගෙන ගියා.ඉතින් පහුවදා ඉදන් අපි මූට බැන බැන මෙට්ට ටික බිම දාල නිදා ගත්තා.

ඔන්න මුගෙන් කුප්පි දා ගෙන, මම දැන් ටිකක් ඒ රැකියාව කරන්න පුළුවන් මට්ටමකට ආව.පුලුවන් කියන්නේ මගේ යාළුවා කරන වැඩ ටික දුන්නොත් මට කරන්න පුලුවන්.වැඩේ තියන්නේ ඌත් මම වගේමනේ.මුලින් ඉගෙන ගත්ත ටික තමා ඌත්  දන්නේ.ඊට පිටින් දෙයක් දන්නේ නෑ.දැන් රැකියාවල් වලට ඉල්ලුම්පත්‍ර දානවා.ලංකාවෙත් වැඩ කලාය, මේවා මේවා දන්නවය, මේ ගැනත් ටිකක් දන්නවා, මෙන්න මේවා නම් ඉගෙන ගනිමින් ඉන්නවා කියල අයදුම් පත්‍රය හැදුව.

ඔන්න ඔහොම දෙවැනි සතියත් ගෙවිල ගියා.දැන් මට දවසක් ආව ඇමතුමක්.අල්ලපු රටේ ආයතනයක්.මගේ අයදුම්පත ලැබුණය, ඉන්ටර්විව් එකකට එන්නය කියල.මොකක්දෝ නමක් කීව දන්නා විදියට ලියා ගත්තා.ආ  එකක් අමතක උනා, මම දැන් ලංකාවේ මේ රැකියාව කරලා තියන්නේ කියල ආයතනයක නමක් දැම්මා.පස්සේ එක එච්චර හොද නෑ කියල වෙනස් කලා.දැන් මම දන්නේ නෑ මොන ආයතනය තියන අයදුම්පතද ඔය ඇමතුම දුන්න කෙනා  තියන්නේ කියල.කෝකටත් මම දෙකෙන්ම කොපි දෙකක් අරගෙන පිටත් උනා.

බස් එකෙන් ගිහින් අමාරුවෙන් ටෙලිෆෝන් කාර්ඩ් 2ක් විතර වියදම් කරගෙන තැන හොයා ගත්ත.දැන් ටිකක්  කල් වැඩි නිසා  එතන තිබුන පාර්ක් එකක ඉදගෙන හිටිය පැය බාගයක් වගේ.දැන් වෙලාව හරි කියල දැනුන නිසා නැගිට්ට,  එතනින් නැගිටලා පාර පැනල යන්න ඕන අදාළ තැනට.

ඔය පාර පනින්න කලින් තමා මේ පාර්ක් එකේ තනකොල වවපු හරිය තියන්නේ.ඕක මැදින් යන්න  එපා කියල පොඩි බෝර්ඩ් කෑල්ලක් දැක්ක උනත් මම ඒ තරම් ගණන් ගත්තේ නෑ.ඔය කියන තනකොල කොටස ටිකක් ලොකුයි.මම දැන් සහතික ටිකත් අරගෙන ඕක මැදින් එන්න ආව.හරියටම මැදක් වගේ එනකොට.හෙන වතුර මල් වගයකින් වතුර විදින්න ගත්තා.මොනවා උනාද කියල තේරුම් යන්න කලින් මම දුවගෙන එතනින් එලියට ආව.ඇවිත් බලපුවම අර තනකොළ ලගදී හදල තියන්නේ.ඒවාට වතුර දාන්නේ ඔටෝමැටික් ස්ප්‍රින්ක්ලර් වලින්.එව්වා තමා වැදිලා තියන්නේ.පොඩ්ඩක් බලනකොට ඇදුම ඉවරයි.මෙහෙම ඉන්ටර්විව් ගියහැකිය.දැන් මගේ මානසික තත්වය නොදන්නා රැකියාවක් ගැන පළවැනි ඉන්ටර්වීව් එකකට යන්න ඕන කරන ප්‍රශස්ත මට්ටමේ තියන්නේ.සහතික වල කොන් තෙමිලා.හැබැයි එක ඒ තරම් අව්ලක් හිතුනේ නෑ මොකද මෙහෙ පළවැනි ඉන්ටර්වීව් වල සහතික බලන්නේ නෑ කියල අහල තිබුන නිසා.ඒ උනත් මෙහෙම ඇදුම් තෙමාගෙන තැනකට යන්න බෑ. එක නිසා දුන්න වෙලාවට විනාඩි 45 කට පස්සේ ඉන්ටර්වීව්එකට ගියා.

පළවැනි ඉන්ටර්විව් එක( වෙලාවේ  ) 
තාම ඇදුම් තෙතයි..ඒ උනත් තවත් පරක්කු වෙනවා කියන්නේ ඔය මිනිස්සු ටික යයි යන්න කියල ඇතුලට ගියා.ගිහින් බලනකොට ටිකක් ලොකු කාර්යාලයක්.ලස්සන පිළිගැනීමේ නිලදාරිනියක් එහෙම හිටිය.මම ගිහින් කිව මම අහවලා, පරක්කු උනා එන්න තැන හොයා ගන්න අමාරු උනා කියල.ඒ වෙනකොට හවස 6යි. මාව පරීක්ශා කරන්න නියමිත ප්‍රදාන ___තුමා බලාගෙන ඉදල ගිහින්.ඉතින් ජී ඇම් මහත්තයට කියල බලන්නම් කීවා.එතකල් ටිකක් ඉන්න කිව.මමත් ඉදගෙන හිටිය උත්තරයක් දෙනකල්.

ඔන්න තව විනාඩි 20ක් විතර ඉන්නකොට කීවා උඩට යන්න ගිහින් ජී ඇම් මහත්තය හම්බ වෙන්න කියල.මමත් උඩට ගිහින් කාමරේට තට්ටුවක් දාල ඇතුලට ගියා.ජී ඇම් අල්ලපු රටේ වයසක පොරක්.මේ අපේ මිත්‍ර ටමිල්නාදුවේ...ඉතින් අර මුලින් ඉන්ටර්විව් වල කතා කරන ආ ගිය තොරතුරු ටික කතා කරලා මට මේසයක් ගාවට ගිහින් කිව මේ චිත්‍ර ටික මැනල බඩු ටික ලියල දෙන්නය කියල.එහෙම කියල ඒ මේසෙම අනික් පැත්තේ ඉදන් මිනිහ බත් එකක් දිග අරගෙන කන්න පටන් ගත්තා. මම එක ඒ තරම් ගණන් නොගත්ත බව පෙන්නල මගේ වැඩේ කරගෙන ගියා.මගේ යාළුවා කාර්යාලයෙන් පන්නගෙන ආපු චිත්‍ර වගේ ඒවා නිසා අව්ලක් නැතිව වැඩේ කරලා දුන්න.එක බට ජාතියක් දිග විතරක් මැනල, අවශේශ බඩු මනින්න දන්නේ නෑ කීව.එහෙම කියන්නය කියල මගේ යාළුවා කියල දීල තිබ්බේ.

මිනිහ ලිස්ට් එක අරගෙන කෑම එකේ තිබුන චපාති එකක් අරගෙන මට කන්නලු.පොඩ්ඩක් වෙනස් තමයි.මොකද කරන්නේ මට සෙට් වෙන්නේ මම වගේම උන් තමා කියල හිතාගෙන ඒකත් කෑව.මූ අර ගණන් ටික අරගෙන ෆොන් එකෙන් වෙන එකෙකුට කීව.මම හිතුව දැන් මොකෙක් හරි පයිතෙක් ඕකේ අඩු පාඩු කියයි කියල.එහෙම දීල මගේ අයදුම්පත අරගෙන ටිකක් වෙලා කියවල.මගෙන් එකම එක ප්‍රශ්නයක් ඇහුව.

ඊට කලින් කියන්න ඕන මගේ මුල්ම අයදුම් පත මම වෙන එකෙක්ගෙන් අරගෙන කොපි කරලා මගේ විස්තර ඇතුලත් කල එකක්.දැන් මෙයා ගාව තියන්නේ ඒ පරණ එක. එකේ තිබුන තැනක "bar bending schedule" කියල.ඒක වෙනම ඉංජිනේරු ක්ෂේත්‍රයකට බාවිත වෙන වචනයක්.වැරදිල ප්‍රින්ට් වෙලා.

 මූ මේකම ඇහුවනේ මගෙන් මේ මොකක්ද කියල.මගේ කන් දෙක රතු වෙනවා දකින්න ඇති, මුනට දාඩිය දානවත් දකින්න ඇති.දැන් මම මේක, වැරදිල ප්‍රින්ට් වෙලා ඒක නිසා මම අයදුම්පත වෙනස් කලා, ඔය තියන්නේ පරණ එක මෙන්න මේක තමා අලුත් එක කියල දෙන්නද අලුත් එක, බෑනේ පින්වතුනි???(මාරයාගෙන් කොපි කලේ )

එක නිසා මම කීවා" ඒ කියන්නේ ප්‍රොජෙක්ට් ප්‍රෝග්‍රෑම් එකේ ඇක්ටිවිටි ටියිම් බාර් එකේ ස්ටාර්ට් ෆිනිෂ් බාර් ඩීටේල් ශේඩියුල්" එක කියල මහ පොලොව නුහුලන බොරුවක් අද බෑවා(Name Dropping).ඇද බාල අර මගේ හිත හිරිවට්ටන සීන් එක දා ගෙන ඉන්නවා ඕනෑම ලැජ්ජාවක් මගේ නොවේ වගේ. දැන් මූ ඒකට කිසිම හැගීමක් නැතිව මගේ දිහා බලාගෙන ඉදලා.මෙන්න මෙහෙම කීව."මම දන්නවා උබ මේකේ ලියල තියන දේවල් සහ උබට කල හැකි දේවල් මොනවද කියල.මට කරගන්න තියන්නේ මෙන්න මේ වැඩ ටික_______.උබට මම අවස්ථාවක් දෙනවා වැඩ ඉගෙන ගන්න.උදේ ඇවිත් දවසේ මොන මොනවා හරි කරලා හවස යන්න නෙමේ, උබ කරන්න දන්නා වැඩ ටික හරි විදියට කරන්නේ කොහොමද කියල ඉගෙන ගන්න.ඒක නිසා මම උබට මාස 3ක් කල් දෙනවා, උබට මම මෙච්චර පඩියක් දෙනවා මාව බලාපොරොතු කඩ වෙන තත්වයට පත් වෙන්න එපා "කියල මට යන්න කීව හෙට උදේ එන්න කියල.

මම හිටියේ අර හිත හිරිවට්ටන සීන් එකේ හිටපු නිසා මේ කතාවේ වචන ටික හැරි තැන් වලට දාල ඉන්ග්රීසි ටික තේරුම් ගත්තේ බස් එකේ ඇවිත් ගෙදර ගාවින් බැහැල පයින් යන ටිකේ.ඌ තමා එතන ඉදන් අවරුදු 3ක් සහ මස 3ක් ( අර මට දුන්න මාස 3 න) මගේ බොස් වෙලා මට ගොඩක් දේවල් කියා දුන්නේ.ඌ ඒක කලේ ඇයි කියලත් මට තේරුනා ඔය කාලේ අතර තුර.ඒක පසුවට.

Sunday, 5 May 2013

ගමන් බලපත්‍රය . . .



                                                           පින්තුරය http://en.wikipedia.org/wiki/Sri_Lankan_passport
මට කෙනෙකුගෙන් අහන්න ලැබුන කතාවක් අද කියන්න ඕන කියල හිතුව. මේ කතාව මට අහන්න ලැබුනේ 2009 වගේ.ලංකාවේ කෙනෙක් රට ඇවිත් සිදු උන සිදුවීම්. ඔය කාලේ මම රැකියාව කලේ නගරයෙන් ටිකක් ඈතට වෙන්න තිබුන සයිට් එකක.ගමනාගමනය අති දුෂ්කරයි.ඒ පළාතට බස් යන්නෙත් නෑ ඒ කාලේ.ටැක්සි විතරයි යන්නේ.උදේට යන්න එන්න ටැක්සි  වලට ලොකු ගානක් යන නිසා ඒ කිට්ටුවෙන් නතර වෙන්න තැනක් හොයමින් ඉන්නකොට මම දැක්කා සිංහලෙන් අතින් ලියපු දැන්වීමක්.කෝකටත් කියල දාල තිබුන නොම්බරේට කතා කලා.කාමරේ අව්ලක් නෑ,ඉඩ තියන පොඩි කාමරයක්.ඔක්කොම තුන් දෙනෙක් හිටිය.ඔය කාමරේ අයිති කාරය ලංකාවේ කෙනෙක් නම ප්‍රබාත් කියමු.විනෝදයට බර කිසිම ප්‍රශ්නයක් සීරියස් ගන්නේ නැති කොල්ලෙක්. මට මේ කාමරේට එන්න ඕන කරන ඔක්කොම හරි.මම එන්නම් කියල දවසකුත් කතා කරගෙන ආව.මම කෑම ගත්තේ ලංකාවේ ගෙදරකින්.ඔය මනුස්සයට මම කීව මම කාමරේ මාරු කරනවා අර අලුත් කාමරේ තියන තැන කියල මම එතනට යනවා ඒක නිසා කෑම ඊ ලග දවසේ ඉදන් එහාට ගැනත් දෙන්න කියල.ඒ මනුස්සය ඇහුව ප්‍රබාත් ගේ කාමරෙටද යන්නේ කියල.එක අහපු විදිය පොඩ්ඩක් අව්ල් නිසා මම එදාම හවස කෑම පෙට්ටි ආපහු ගෙනියන්න ආවම විස්තර ඇහුව. මිනිහ තමා මට මේ අතීත කතාව කිවේ.

ප්‍රබාත් ලංකාවේ කොලබට කිට්ටුව නගරෙක.අවරුදු 18 වෙනකොට මෙහෙ ඇවිත් රැකියාවකට ඇලුමිනියම් කර්මාන්තශාලාවක.කරන්න තිබිල තියන්නේ වාහන රේඩියේටර් උණු ඊයම් වල ගිල්ලන එක. කියන්න දෙයක් නෑනේ තේරෙනවනේ මේයාට ඒක වැඩි කල් කරන්න අමාරු වෙලා.දැන් අපහු ලංකාවට යන්නත් බෑ නේ. මාස කීපයක් එතන ඉදල එතනින් පැනල ඇවිත්.මෙහෙ රැකියාවකින් අයින් වෙන්නේ නැතුව රැකියාවට යන්නේ නැතුව ඉන්නවා කියන්නේ නීති විරෝදීව රට තුල ඉන්නවා කියන එක.දැන් මෙයා එතනින් ඇවිත් යන්න තැනක් නැතිව දන්නා කෙනෙක් නැතිව එහෙ මෙහෙ වෙවී ඉන්නකොට ලංකාවේ එක්කෙනෙක් ගෙදරක වැඩ කරන්න එක්කගෙන ගිහින්. දැන් මේක කරගෙනඉන්න අතර ඒ අවට ගෙවල් වල ඉන්න ලංකාවේ උදවිය එක්ක කතා බහ කරලා අදුනගෙන.ඒ අතර මෙයට අදුන ගන්න ලැබිල තියනවා රුවන් කියල තවත් ලංකාවේ කෙනෙක්.රුවන් කියන්නෙත් මේ වගේම රට ඇවිත් ලොකු කට්ටක් කාල දැන් තමන්ගේ කියල වියාපාරයක් කරගෙන ඉන්නව. ප්‍රශ්නේ තියන්නේ කරන ව්‍යාපාරේ තමා.ප්‍රසිද්දියේ මතට තිත ඇත්තටම  තියල තියන රටක මද්‍යසාර වෙළදාම හොද වියාපාරයක්. ඉතින් ප්‍රබාත් රුවන් එක්ක එකතු වෙලා වියාපාරය කරගෙන යනවා.පහුකලීනවා ප්‍රබාත් ප්‍රදේශයේ ප්‍රසිද්ද මධ්‍යසාර ව්‍යාපාරියෙක් බවට පත් වෙනවා.

ඒ අතර ප්‍රබාත් තවත් වැඩක් කරගෙන යනවා මේ රටට මිනිසුන් ගෙන ඒම.ඔහොම දවසක සංචාරක විසා වකට ආපු කෙනෙක් ආපහු යන්නේ නැතිව ඉදලා.එහෙම උනාම විසා එක දුන්න කෙනාට බරපතල ගැටළු වලට මුණ දෙන්න වෙනවා.එක නිසා ප්‍රබාත් ඒ නොගිය කෙනාගේ ගමන් බලපත්‍රයට වෙන කෙනෙක් ලංකාවට යවනවා, පළමු වතාවට.ඒ වැඩේ හරි ගිය නිසා මේ වගේ තවත් අයව මුදලට ලංකාවට යැවීම අලුත්ම රැකියාව කරගෙන ගියත් දවසක් එහෙම යවපු කෙනෙක් මෙයාගේ විස්තර ඔක්කොම පොලිසියට දැනුම් දීම නිසා හැම දේම ඇත ඇරලා ලග තියන රටකට මෙයත් තව කෙනෙකුගේ ගමන් බලපත්‍රයකින් ඇතුල් වෙනවා. යන්නේ දවස් කීපයකට මෙයාගේ අලුත් ගමන් බලපත්‍රරයට වලංගු විසා එකක් එවන්න කෙනෙකුට බාර දීල. විසා  එක ඇවිත් නෑ.දැන් මෙයා අතේ තියන් සල්ලි ටික ඉවර වෙලා.මෙහෙම එන අයගෙන් හෝටලය ගමන් බලපත්‍රය තියා ගන්නවා ඒක දෙන්නේ විසා එක ආවාම විතරයි. මෙතන තව දුරටත් හිටියොත් ගමන් බලපත්‍රයේ වංචාව අහු වෙන  නිසා කොහොම හරි දේශ සීමාව පේන ගානට අවිත්.දේශ සිමාව තියන්නේ අඩි 10 - 12 ක් වගේ උස යකඩ වැටක්.එක උඩින් පැනල එනකොට ආපු පිටි ගෙනියන ලොරියක නැගල නගරයට ඇවිත්.

ඉතින් ඔය කතාව කියල මට ඒ කාමරේට යන්න එපා කියල උපදෙසකුත් දීල ඒ මනුස්සය යන්න ගියා.හැබැයි කතාව මට හොදට මතක තිබ්බ. මගේ යාලුවෙක් රට එන්න ගමන් බලපත්‍රය ඒජන්සියකට දීල හම්බ උනේ නෑ කියල පොලිසි ගියා මීට ටික කාලෙකට කලින්.

මේකෙන් ගන්න තියන්නේ කවදාවත් ගමන් බලපත්‍රයක් වීදේශ රැකියා ඒජන්සි වලට දෙන්න එපා.දීල මාස ගණන් තියා ගන්න දෙන්නත් එපා.ගොඩක් එහෙම වෙන්නේ දුර පළාත් වල අය කොලබ ඇවිත් දීල යනවා .ආපහු එනකොට එතන ඒජන්සි  එකක් නෑ. ඒ වෙනකොට ඔබගේ ගමන් බලපත්‍රයට වෙන කෙනෙක් ගිහින් තියෙන්න ඉඩ තියන නිසා . . .ඒ වගේම මෙහෙ ඉන්න කෙනෙක් බැංකු වලට පොල්ලක් තියල ඔබේ ගමන් බලපත්‍රයෙන් ගිහින් තිබ්බොත් ... නිකමට මෙහෙ ට්‍රාන්සිට් එකකට ආවත් හිරේ යන්න වෙනවා නොකළ වරදකට. . එක නිසා අනන්‍යතාව රැක ගැනීම ඉතා වැදගත්. . .