Thursday 30 May 2013

ක්‍රියිසිස් කාලේ ගොඩ දැම්ම හැටි ...

පින්තුරේ මෙතනින්:learner-centeredhistory.wikispaces.com

මේක අර ක්‍රයිසිස්  එක මෙහෙට ආපු කාලේ කතාවක්.ඕක ආවට පස්සේ ආයතන වැඩ කරන ජනතාවගේ  පඩි  අඩු කරගෙන ගියා (කව්රුත් වැඩ වැරුවේ නෑ හැබැයි).ඒ විතරක් නෙමේ ඉන්න අයත් අයින් කරන්න පටන් ගත්තා.කිසි කෙනෙකුගේ රැකියාව පහුවදා වෙනකල් විශ්වාස නැති මහා නරුම කාලයක් උදා උනා. 

මම මෙහෙට ආවේ නොදන්නා රැකියාවක් කරන්නනේ.හැබැයි ඒක මම ඉගෙන ගත්ත විෂය ක්ෂේත්‍රයට අදාලයි.ඒ උනත්  ඔය පඩි ප්‍රස්නේ නිසා ඉගෙන ගත්ත විෂය ක්ෂේත්‍රයත් මාරු කරන්න උනා මට.

අපේ ආයතනයේ හිටපු විශාල ප්‍රමාණයක් අයින් කළා.මම බේරුනත් ආයතනයේ මාස තුනක පඩි පරක්කුවක් තිබ්බ.ඔය කාලේ මගේ බිරින්දෑට පුතා හම්බ වෙන්න ඉන්න කාලේ.පඩි නෑ මාස තුනක් පළමු පාරට.අතේ තිබ්බ නය පත් වලින් අරගෙන ඒ කාලේ ගෙව්වා.දෙවැනි මාසේ වියදමයි ණය පතේ පොලියයි ගෙවන්න ආපහු ණය පතින්ම සල්ලි ගන්නවා.ඊ.ටී.සී.දැන් තේරෙනවනේ ණය පතේ අයිස් බෝලයක් හැදෙනවා නේද. 

දැන් මෙහෙම යන්න බැරි නිසා මම හිතුව අලුත් රැකියාවක් හොයන්න ඕන කියල.හිතුවට මේක කරන්න ලේසි වැඩක් නෙමේ.හැම ආයතනයේම තමන්ගේ සේවකයන් අයින් කර කර යන කාලේ.මම හිතුව මාස 6ක් හරි එක දිගට පඩියක් ලැබෙන තැනකට යන්න ඕන කියල.

මම මගේ අයදුම්පත හදල.වෙනම ඊමේල් එකක් හදල.පොතක් තියාගෙන දාන දාන ආයතනයේ නම ලියල, දාපු දවස සදහනක් කරගෙන යනවා. නෙට් එකෙන් මෙහෙ තියන හැම ආයතනකම වෙබ් අඩවි වලට ගිහින් එකේ ඉන්න ලොක්කන්ගේ නම් හොයාගෙන උන්ගේ පුත්ගලික ඊමේල් වලටම මගේ අයදුම්පත දානවා.ඔහොම මම පන්සීය ගානකට දාල තියනව.

ඇමතුම් ආවේ දෙකයි!!!!

ඒ දෙකත් මගේ ක්ෂේත්‍රයේ වැඩ නෙමේ.මම වැඩ කල ක්ෂේත්‍රයට ඔය කාලේ වැඩ අඩුයි.හැබැයි අනිත් ක්ෂේත්‍රයට රැකියා තවම පොඩ්ඩක් එහෙන් මෙහෙන් තියන බවක් ඕකෙන් තේරුණා.
ඉතින් ගිලෙන්න යන එකා පිදුරු ගහෙත් එල්ලෙනවනේ.මමත් තීරණයක් ගත්ත.ඇත්ත ටිකක් නමන්න වෙනවා මේ වෙලාවේ ජිවිතේ ගැට ගහ ගන්න.

දැන් කවදාවත් අයදුම්පතේ බොරු ලියන්න හොද නෑනේ.ඉතින් ඇත්තම ලිව.හැබැයි ක්ෂේත්‍රය සදහන් කලේ නෑ.ඇහුවොත් කියනව නැත්නම් සහතික බලනකොට තේරුම් ගන්න කියල ඉඩ තිබ්බ.

ඔය ක්ෂේත්‍රයේ මගේ රැකියාව කරන කෙනෙක් අල්ලාගෙන කරන්න තියන වැඩ ටික අහගත්තා.මුලික වැඩ දෙකේම එකයි හැබැයි තාක්ෂණික කටයුතු සම්පුර්ණයෙන් වෙනස්.මම කවදාවත් මේ ක්ෂේත්‍රයේ වැඩක් කරලා නෑ.

ඕන කරන මුලික වචන සහ ක්‍රියාකරකම් ටික නෙට් එකෙන් හොයාගෙන ගොඩ දැම්ම.දැන් මේ කාලේ තියන වැඩ තමා බාගෙට නවත්තපු වැඩ,එහෙම නැත්නම් ඉවර වෙලා/අල වෙලා /චා වෙච්ච කුණු ගොඩවල්.ඒ කියන්නේ මට ඕන කරන්නේ බාගෙට ගිය වැඩක් ගොඩ දාන්න තමයි.ඒ වැඩ වලට ඕන කරන කොටස් ටික විතරක් යාලුවන්ගෙන් අහ ගත්ත.

ඔය වැඩ ටික කරලා අපහු අයදුම්පත් දාන්න පටන් ගත්ත.දෙවැනි පාර දෙසීයක් විතර දාල තියනවා.ඔන්න මාස දෙකකට පස්සේ එක තැනකින් ඇමතුමක් ආව.ඉන්ටර්විව් එකට දිනයක් වෙලාවක් කතා කර ගත්ත. මොන ක්ෂේත්‍රයේද ඇහුවෙත් නෑ.මම කීවෙත් නෑ.

ඉන්ටර්විව් එකට ගියාම ඒක  ඉවර උන  ව්‍යාපෘතියක්.අර මම කිවත් වගේ අල වෙලා /චා වෙච්ච කුණු ගොඩක්.දැන් මගෙන් ප්‍රශ්න අහනවා.ගොඩක් ඒවා තාක්ෂණික දේවල් නෙමේ.අනික් විෂය කරුණු ටිකට අව්ලක් නැතුව උත්තර දී ගත්ත.මොකද ඌ හිතාගෙන ඉන්නේ මම තාක්ෂණික දේවල් ටික දන්නා නිසා අහන්න දෙයක් නෑ කියල.මේක තමා මම බලාපොරොතු උන විදිය. මිනිහට ටිකක් හදිස්සි මේ වැඩේ.ඔය අතර ප්‍රශ්න එකක් දෙකක් ඇහුව ඔක්කොම ලොකු බැරෑරුම් දේවල් නෙමේ සාමාන්‍යමේ  විෂය කරුණු දන්න කෙනෙක්ට ගොඩ දා ගන්න පුළුවන් ඒවා.

මිනිහ මාව තෝර ගත්ත.කව්රුත් දන්නේ නෑ මම වෙන ක්ෂේත්‍රයක කියල.ඉතින් අර ඉගෙන ගත්ත වචන ටිකයි නෙට් එකටයි පින් සිද්ද වෙන්න වැඩේ කරගෙන යනවා.

එක දවසක් ඔතන වැඩ කරන ප්‍රදාන ඉංජිනේරු තමා ඇවිත් මට චිත්‍ර මහා ගොඩක් දීල කීවා මේ ටික මැනල වැඩ බිමේ හදල තියන මිනුම් හරියට තියනවද බලන්න කියල.

දැන් ඔය චිත්‍ර ටිකේ ගෙවල් දෙසිය පනහක සියලුම වැඩ මනින්න ඕන.චිත්‍ර සෙට් දෙකක්...පරණ එකයි අලුත් එකයි... වැඩ බිමට ගිහින් හදපු ගෙවල් වල ඔය බඩු ඒ ගානම තියේද මනින්නත් ඕන.

මුලික දේවල් ටික විතරක් දැනගෙන මේ වැඩේ ගොඩ දාන්න බැරි බව දැන්නම් හොදටම පැහැදිලි.

දැන් මේක කරන්න බැරි උනොත් ආපහු රැකියාවක් හොයා ගන්නවා කියන්නේ මේ කාලේ, ඊට හොදයි වහ කාලේ කැලේ රිංගන එක...

ඔහොම තෝන්තු වෙවී ඉන්නකොට මට අලුත් අදහසක් ආව.ඒකට ඕන කරන උදවිය මේ කාලේ ලේසියෙන් හොයා ගන්න පුළුවන් කියලත් තේරුණා.දැන් තියෙන්නේ කාටවත් නෝන්ඩි වෙන්නේ නැතිව වැඩේ ගෙනියන එකයි.

දැන් ඔය ව්‍යාපෘතිය ඉවර වෙලා තියන එකක් නිසා,කොන්තරක් කාරයාගේ කාර්යාලයේ හිටියේ තුන් දෙනයි.මමයි කළමනාකරුයි අනික තමා ප්‍රදාන ඉංජිනේරු තුමා.මාව අරගෙන තියන්නේ කරපු වැඩ ටික ආපහු මැනල අඩු පාඩු සල්ලි ටික ගන්න.

ඔය කාලේ රැකියා නැති වෙලා ගොඩක් අය නිකන් ඉන්නවනේ.මම පත්තරේ දැන්වීමක් දැම්ම චිත්‍ර මනින්න වැඩක් තියනවය.කැමති කෙනෙක් කතා කරන්නය කියල.හිතුව වගේම 5 දෙනෙක් කතා කළා.ඒ අය අතුරින් අඩුම මිල ගණන් බලල මම මෙහෙ සල්ලි වලින් AED 2500.00 දෙන්නම් කියල චිත්‍ර ටික මැන ගත්ත.ඔය වැඩේට මාසෙකට වඩා ගියා.

ඉතින් දැන් අරූ චිත්‍ර ටික මනින කල් මම චිත්‍ර මනිනවා කියල පේන්න ඕව දිග අරගෙන කාලේ කනවා.මාසයක් කාලේ කන එකත් ලේසි වැඩක් නෙමේනේ.අනික මට ඔය වෙලාවේ අනිත් වැඩක් කරන්නත් බෑ.මොකද මේ ක්‍රයිසිස් දවස්වල කව්රුත් වැඩ කලේ සම්මතයකට.එක පාරකට කරන්නේ එක වැඩයි.ඒකත් කරන්නේ පුළුවන් තරම් කාලේ අරගෙන.මොකද ඉක්මනට වැඩ ඉවර උනොත් ඉක්මනට රැකියාවල් හොයන්න වෙනවා.

දැන් මට තියන්නේ,ඔය මැනපු චිත්‍ර ටික පාඩම් කර ගන්න.චිත්‍ර පාඩම් කරන්නේ මෙහෙමයි: අරක කොහෙද තියෙන්නේ, මේක තියෙන්නේ කොහෙද, මේක කලින්ට වඩා ලොකුද, නැත්නම් පොඩිද , මේක අලුත් කෑල්ලක්ද, ඔය වගේ ඇනලයිස් පාරක් හදාගෙන, අහන්න ඉඩ තියන ප්‍රශ්න වලට උත්තර හොයල තියා ගන්න එක තමයි චිත්‍ර පාඩම් කරනවා කියන්නේ.දන්නේ නැති දෙයක් ඇහුවොත් අර ඉංගිරිස් වචන තුන දැම්මකි.

දැන් හරි වැඩේ ගොඩක් දුරට.දැන් තියන්නේ වැඩ බිමේ කේස් එක.ඔය ගෙවල් දෙසිය පනහ කොටස් හතරකට තියන්නේ.ඒ කියන්නේ ගෙවල් වර්ග හතරක්.දැන් ඔය චිත්‍ර මනිපු එකා අපේ ලංකාවේ හාදයෙක්.මම මිනිහට කීව මේ ගෙවල් වර්ග හතරේ මනින්න තියන කෑලි ටික කියා දෙන්න කියල,ඒකට සල්ලි දෙන්නම් කීවා.මිනිහත් සතියක් විතර වැඩ බිමට ඇවිත් මගේ මල්ලි කෙනෙක් විදිහට කාර්යාලයට අදුන්නලා දිල වැඩේ කියා දුන්න.එකට තව AED  1000.00 ක් දුන්න.මට පාඩු නෑනේ රැකියාව බේර ගන්නනේ ඕන.

දැන් ඔක්කොම හරි.දැන් තියන්නේ වැඩේ පුලුවන් තරම් අදින්නයි.මොකද ඉක්මනට ඉවර කරලා දුන්නොත් ඒ තරම්ම ඉක්මනට යන්න වෙන නිසා මාස 6ක් ඇද්ද.අනික ඇත්තටම අවරුදු 3ක පරණ විස්තර හොයල කියවල ලියුම් ලියන්න,ගණන් හදන්න කාලයක් යනවනේ.මම අසාදාරන විදියට කාලේ ගත්තේ නෑ.හැබැයි එක පාරකට කලේ එක වැඩයි.ලියුම් 3ක් ලියන්න විස්තර හොයන්න තියන්නේ එකම ෆයිල් එකක නම්, එක ලියුමක් ලියල ෆයිල් එක ගිහින් තියල දෙවැනි ලියුම ලියන්න ආපහු ඒ ෆයිල් එක අරගෙන ඇවිත් මුල ඉදන් කියවනවා. (රෙකොර්ඩ් කාමරේට යන්න විනාඩි 10 විතර යනවා උනත් පළවැනි ලියුම ලියල ෆයිල් එක ගිහින් තියල එනවා).

ඔය රැකියාව මාස දහයක් කලා.ඊට පස්සේ තමා වෙන රැකියාවකට යන්න හම්බ උනේ.හැබැයි බොරුවට හරි මේක කල නිසා මට අලුත් ක්ෂේත්‍රයේ වැඩ ගැන හොද අවබෝදයක් ආව.

ඉතින් ඔන්න ඔහොමයි අමාරු කාලේ  ජිවිතේ ගැට ගහ ගන්න, බොරු නොව්නත් ඇත්ත ටිකක් විතර නමන්න වෙනවා.ආයතනයට ඕන දේත් ලැබුන මට ඕන දේත් කර ගන්න ලැබුනානේ..






23 comments:

  1. Replies
    1. ඒ වෙලාවේ කොහොම හරි රැදිලා ඉන්නනෙ බලන්නේ බන්.දාල එන්නත් බැනේ නය එහෙන්, ලංකාවට අවොත් ආපහු මෙහෙ රැකියාවක් හොයා ගන්න අමාරුයි.මෙහෙ ඉන්නකල් යාළුවො උනත් ජොබක් හොයල දෙන්න මහන්සි වෙනවා.ගියොත් හැමෝටම අමතක වෙනවා.එකට දොස් කියල වැඩක් නෑ.එක හැටියක්.

      Delete
  2. මට මතක් වුනේ 80 ජූලි වර්ජකයො ගත කරපු / කරන අමාරු ජීවිත. මාර ගැට ගැහිල්ලක් තමයි මගිය කරල තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. අමාරු කියන්නේ බන්,හිතහන් ළමයෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක් එක්ක මාස තුනක් පඩි නැතිව රැකියාව විශ්වාසයක් නැතිව ඉන්නවා කියන්නේ .. හප්පා මතක් වෙනකොටත් කලන්තේ වගේ...

      Delete
  3. කොම්පැනිය ඇතුලෙ ඉඳගෙන සබ් කන්ට්‍රැක්ට් දීල‍නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් බාන්ස්, මොකද කරන්නේ. දන්නේ නැත්නම්.. ඒ වෙලාවේ හොයා ගත්ත ජොබ දාල යන්නයි...

      Delete
  4. ///ජිවිතේ ගැට ගහ ගන්න, බොරු නොව්නත් ඇත්ත ටිකක් විතර නමන්න වෙනවා.///


    ඇත්ත, ඇත්ත උනත්
    එලිකලයුතු තැන් වගේම එලි නොකල යුතු තැනුත් තියෙනවා.

    ඒ වගේම පඩි නැතුව ජීවත් වෙනව කියන එකත්
    මහ එපා කරපු වැඩක්,
    පිස්සු නොහැදෙනව පුදුමයි.

    ReplyDelete
    Replies
    1. ඔව් නිශ්, මම මූන දීපු අමාරුම කාලයක් ඕක.මම තනියම නම් කමක් නෑ.අනික රැකියාවේ හැමදාම අද මෙච්චරකට ලියුම් දුන්න, අරූ යවල, මූව යවල ඔහොම එව්වා අහ අහ පඩිත් නැතුව ඉන්නවා කියන්නේ වැඩක් නෑ කියල.

      Delete
  5. ලේසියි කියන කිසිම දෙයක් නැ ගමන්. ජීවිතේ අමාරු තමයි. එකට මුණ දෙන එක තමයි වැදගත් වන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් නලින් ජිවිතේ අමාරුයි තමයි.කොහොම හරි සතුටින් ඉන්නත් එපයි.එතැනදී තමා ඔය ප්‍රශ්න ආවම ඒ සතුට නැති වෙන්නේ.

      Delete
  6. සබාට පඩි ගෙව්වම ගෙදර ගෙනියන්න පඩියක් ඉතුරු වුනාද?

    ReplyDelete
    Replies
    1. කලින් කොම්පැනියෙන් අයින් වෙනකොට හිග මාස තුනේ පඩි දුන්න බන්.එකෙන් තමා මෙහෙම ගෙවල කර ගන්න කල්පනා කලේ.මේක උනේ අලුත් එකේ වැඩ කරනකොට.මාස ගණන් පඩි නැතිව ඉන්න බෑනේ බන්.

      Delete
  7. උපාය දන්නෝ අපායේ නොවැටෙති කියන්නේ ඕකයි. මම නම් උඹ කරපු වැඩේ කිසිම වැ‍රැද්දක් දකින්නේ නෑ. මටෙ ඇති වුනේ යම් ගෞරවයක්.

    ReplyDelete
    Replies
    1. හැමෝම ඔහොම හිතන්නේ නෑ හෙන්රි.. මම රියල් ප්රෝෆියිල් එකකින් උන්නා නම් කොහොමත් මේක ලියන්නේ නෑ.කාට හරි ගන්න දෙයක් තියේ කියන අදහසින් ලිවේ.මේ වගේම ප්‍රශ්නයක් නොව්නත් උත්තරයක් හොයාගන්න පුළුවන් මයින්ඩ් එකක් හැදෙයිනේ.බොහොම ඉස්තුති ආවට.

      Delete
  8. ඔය ක්‍රයිසිස් එක ආවේ අපි අවුට් උන අලුතම මම හිතන්නේ. මට මතකයි ඩයලොග් එකේ එහෙම සෑහෙන දෙනෙක්ට ජොබ් නැති උනා. හොඳ වෙලාවට අපිටනම් ඒක එච්චරම ලොකුවට දැනුනේ නෑ. ඒත් අපේ කම්පැනිය්ත් කීප දෙනෙක් අයින් කළා. මිනිස්සු හරිම අසරණ වෙනවා ඒ වෙලාවට.

    ReplyDelete
    Replies
    1. ඔයාල අවුට් උනේ 2008 වගේද? මම 2005 එක අවුරුද්දයි ලංකාවේ හිටියේ.මෙහෙ නම් ලොකුවටම ගියා අප්පා සංසාරේ එපා වෙන වැඩ උනේ.මෙහෙ ඒ වෙනකොට අවුරුදු කිපයක් හිටිය උදවියට නම් ලොකුවට බලපෑවේ නැති උනත් අපි ආපු අලුත..හිත ගන්න පුළුවන්නේ..මම මෙහෙ අවේ 2007 මැද../

      Delete
    2. හ්ම්ම්..2008 තමා. ඔවු ඒ කාලෙනම් අන්තිම නරක කාලයක්

      Delete
  9. ඔහොම එව්වා මෙහෙත් තියේ.. හප්පේ අපි කාපු කටු. මේවා කියවද්දී ඒවා මතක්වෙනවා.

    ReplyDelete
    Replies
    1. ටික කාලයක් ඉඳල සේෆ්ටි ෆන්ඩ් එකක් තියාගෙන හිටිය අයට ඒ තරම් ලොකු බලපෑමක් නහා රැකියාව අස්ථිර බව ඈරෙන්න.අපි ආපු ගමන් වැඩි යමක් ඉතිරී කරගෙන හිටියෙත් නැහැ.එක නිසා කරදර උණ ගොඩක්.

      Delete
  10. මට මතක් වුනේ අපේ ෆැකල්ටියෙන් රිසල්ට්ස් ලිස්ට් එක අරගත්තු ආණ්ඩුවේ මහැවැලියේ වැඩ කරන ආයතනයක් මට සිවිල් ඉංජිනේරු ජොබකට ඉන්ටර්වීට් එන්ණ ක්‍රිලා ලියුමක් එවලා තිබුණා.

    මාත් ගිහින් ජොබ් එක ගත්ත නං අල්ලගෙන ඉන්න තිබුණා මොකද මං සිවිල් නොකලාට මුල් වසරේ සහ දෙවන වසරේ ඉන්ඩ්‍රස්ට්‍රියල් ටේ්‍රනිං හිටියේ සිවිල් වැඩබිම්වල නිසා!

    ReplyDelete
    Replies
    1. කකා ඒ දවස් වල පළවැනි අවුරුද්දේ ඔක්කොම කරනවා නේද? අපිට සිවිල් විෂයන් වැඩිය අහු උනේ නැහැ කකා.මම ගොඩක් ඒවා ඉගෙන ගත්තේ නෙට් එකෙන්.ඒ උනාට ඉගෙන ගත්ත විෂයට පිටින් රැකියාවල් කරන එක අනාගතේට හොද නැහැ නේද?මම දැන් ඇත්තටම දුක් වෙනවා මට මෙහෙම උණ එකට.මට දැන් ආපහු යන්න ඕන මගේ ක්ෂේත්‍රයට නමුත් මට ඒ ෆීල්ඩ් එකේ අත්දැකීම් නැති නිසා ලොකු ප්‍රශ්නයක් කකා.මම අදත් පොස්ට් එකක් දැම්ම ඒ ගැන.උපදෙසක් තියේ නම් දෙන්නකෝ.

      Delete
  11. මේ කරපු බොරුවෙන් කාටවත් වරදක් වෙලා නෑනේ.... ජිවිතේ ගැට ගහ ගන්න පොඩි උපායක්නේ යොදල තියෙන්නේ. සමහර වෙලාවට අපිට ඔය වගේ දේවලුත් කරන්න වෙනවා තමා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඇත්ත කියන්න නොලැබෙන අවස්ථාවක් එනවා.එක බොරුවක්ම නොවෙයි.

      Delete

කියවූ අයගේ අදහස් වටිනා බව සලකන්න . . .