Wednesday 5 February 2014

කැරපොත්තෝ. . .

කැරපොත්තෝ යනු අප පරිසරයේ ජිවත් වන තවත් සත්ව කොට්ටාශයකි.

විද්‍යාත්මක නම නොදන්නා අත‍ර ඒ ගැන සෙවීම දිවට එතරම් සුවදායක නොවෙන බැවින් අපි ඒ ගැන මග ඇර කතා කරමු.

අප ජීවත් වන පරිසරය ජෛව විවිදත්වයකින් හෙබි පරිසරයකි.රටින් රට ඒ විවිදත්වය වෙනස් වන අතර ඒ ඒ රටවල එය රැකීම සදහා විශේෂයෙන් පිහිටුවා ඇති ආයතන පවතී.මේ විවිදත්වය ආරක්ෂාකර ගනිමින් සංවර්ධන වැඩ කටයුතු කිරීමට වෙනම වචනයක් තියනවාද මම දන්නෙ නැත.

නමුත් පරිසරයේ ඇති සීමිත සම්පත් භාවිතා කරමින් පරිසරයට අවම හානියක් කරමින්  සංවර්ධන වැඩ කටයුතු කිරීමට නම් නමක් ඇත.

නවමු අදහස් වලින් සමන්විත මිනිසුන් නිරන්තරයෙන් උත්සාහ කරන්නේ පරිසරයට අවම හානියක් ඇති වන ආකාරයට ගොඩනැගිලි ඉදිකිරීම් ආදී සංවර්ධන කටයුතු කිරීමටය.

එවැනි අවස්තාවන් වලදී පරිසරයේ සිටින සතුන් ගැන අප බෙහෙවින් සැළකිලිමත් විය යුතුය.

උක්ත මාතෘකාවේ එන සත්ත්ව කොට්ටාශයත් එවැනි වූ තර්ජනයකට මුහුණ පා සිටින දහස්ගණන් වූ සතුන් අතරින් එක් කොටසකි.

එවන් ඉතා දියුනු ආකාරයෙන් ගොඩනැගූ ඉදිකි‍රීම් අවසානයේ මිනිසුන් නැමැති සත්ත්ව කොට්ටාශයක් ඒ නිවෙස් තුල තම තමන්ගේ ජීවිත ගෙවමින් සිටිනු ඇත.

මේ අවධියේ මෙම සත්තව කොට්ටාශ දෙක ස්වභාවධර්මයේ කුරිරු හිංසනයකට යටත් වන බව මගේ හැඟිමයි.

උක්ත මාතෘකාවේ එන සතුන් බෝ වීම හෙවත් උන්ගේ ජනගහන වර්ධනය ප්‍රතිවාදී සත්ත්ව කොට්ටාශයට වඩා බෙහෙවින් කාර්යකෂමය.

එබැවින් මිනිසුන් යන සත්ව කොට්ටාශය නිවෙස් වලට පදින්චි වීමට පෙර තම විරුද්ධ සත්ත්ව කොට්ටාශය සහමුලින්ම එම වාසස්ථානයෙන් පලවා හැරීමට කටයුතු කරයි.

දේශපාලන නීතියක් වන පහර දෙන විට පිම්බෙන ආකාරයේ නීතියක් මෙම සත්ත්ව කොට්ටාශ දෙක අතරේද පවතී.

ඒ වගේම මිනිසුන් තම වර්ගයා අතර සටන් වලදී භාවිතා කරන රසායනික අවිද අද වනවිට තහනම් කර ඇතත්, මේ සත්ත්ව කොට්ටාශය එදිරියේ එම නීතිය අවලන්ගු බවට පත්වේ.

රසායනික අවි වලින් සටන් කිරීමට තරම් දුර ගිය මේ සටන ගැන අපි කල්පනා කරන කොට මේ ආකාරයේ බිහිසුනු සටනක් වූයේ ඇයිද යන්න සාකච්චාවට බදුන් කල යුතුම කාරනයකි.

මේ උක්ත මාතෘකාවෙ එන සතුන් සාමාන්‍යෙයෙන් ආහාර පිලිබදව එතරම් සැලකිල්ලක් නොකරන්නාවූ සතුන් කොටසකි.මිනිසුන් මෙන් මේසයක වාඩි වී කතා කරමින් ආහාර ගැනීමේ සිරිතක් නොමැති අතර. අනෙක් සත්ත්ව කොට්ටාශය දුක් මහන්සියෙන් පිලියෙල කරගත්තාවූ ආහාර රස බැලීමකින් පමනක් සෑහීමකට පත්වේ.

නමුත් උක්ත මාතෘකාවේ එන සතුන් කෙරෙහි සත්ත්ව දයාවෙන් බැලීමට තරම් අපහසු ආකාරයට මේ සතුන් තම ප්‍රතිවාදී සත්ත්ව කොට්ටාශයේ ආහාර මුරන්ඩු ආකාරයෙන් රස බැලීමේ යෙදෙති.

මෙය පිලියෙල කල ආහාර හා නොකල යන දෙවර්ගයටම පොදු සන්සිද්දියක් වෙන බැවින් දෙවනුව කී සත්ත්ව කොට්ටශයේ මනසට පීඩාකාරී වාතාවරණයක් ඇති කරවයි.

බැලූ බැලු අත උක්ත මාතෘකාවේ එන සතුන් තම නෑදෑයන් පිරිවරාගෙන කුඩා දරුවන්ද සමග තම ප්‍රතිවාදී සත්ත්ව කොට්ටාශය ගැන කිසිම ආකාරයක සැලකිල්ලක් නොදැක්වීම දෙවනුව කී සත්ත්ව කොට්ටාශයේ හදිසි කෝපය ඇති වීමට හේතු වන්නක් බව නොකියාම බැරිය.

අප මේ කතා කරගෙන ආයේ රසායනික අවි භාවිතය පිලිබදවයි 

මේ සත්ත්ව කොට්ටාස දෙක අතර අන්‍යනෝන්‍ය විරසකය තීව්‍ර වෙන තවත් අවස්තාවක් වන්නේ උදෑසන තම රැකියාවන් සදහා පිටත්ව යන දෙවෙනුව කී සත්ත්ව කොට්ටාශය තම දෙපා ආරක්ශා කිරීම උදෙසා මිලදී ගන්නා ලද "පාවහන්" තුල සිට එලියට පැනීමයි.මේ ක්‍රියාව කිසි ලෙසකින් සාදාරණීකරනය කිරීමට මද්‍ය - අස්ත මට වුව නොහැකි බව කිව යුතුමය.

උක්ත මාතෘකාවේ එක සත්‍ත්ව කොට්ටාශය ඉදිකිරීම් ආදී සන්වර්ධන අවස්තාවේ තම වර්ගයා පවත්වා ගත්තත් , මේ රසායනික ප්‍රහාරය හමුවේ විනාශ වේ.

මෙය එක් සත්ත්ව කොට්ටාශයක් තවත් සත්ත්ව කොට්ටශයක් සහමුලින් නැති කිරීම උදෙසා කරන්නක් නොව තම පැවැත්ම උදෙසා කරන ලද මෙහෙයුමක් බවට ගෙන එන තර්කය වලන්ගු ස්භාවයක් බැලූ බැල්මටම දිස්වේ.

එම නිසා "සික්කා 23" නැමැති කුඩා වෙලද සැලේ නිශ්පාදිත රසායනික ප්‍රහාරය ක්‍රියාත්මක කිරීම සාදාරනීකරනය කල හැකිය.

- උක්ත මාතෘකාවේ එන සත්වයින් හා සිදූ වූ අවසන් සටනේ වාර්තාව -